ප්‍රාග්ධනය -ඉංග්‍රීසි සංස්කරණයෙහි පෙරවදන
ඉංග්‍රීසි සංස්කරණයෙහි පෙරවදන Das Kapital ඉංග්‍රීසි පිටපතක් පළ කැරීම ගැන සමාව යැදීම නුවමනාය. අනෙක් අතට මෙම ඉංග්‍රීසි පිටපත මෙතෙක් පමා වූයේ මන්දැයි කරුණු පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන්නට පිළිවනි. මන්ද යත්, මෙම කෘතිය මඟින් ඉදිරිපත් කරන ලද න්‍යාය පිළිබඳ සඳහන් කිරීම්, පහරදීම්, ආරක්ෂා කිරීම්, අර්ථ දැක්වීම් එංගලන්තය සහ ඇමරිකාව යන දෙරටෙහි ම වාර සංග්‍රහයන්හි සහ වර්තමාන සාහිත්‍යයෙහි පසුගිය අවුරුදු කිහිපය තුළ ම නිතිපතා දක්නට ලැබුණු බැවිනි. වසර 1883 දී සිදු වූ කතුවරයා ගේ අභාවයෙන් වැඩි කලක් යන්නට පෙර මෙම කෘතියෙහි ඉංග්‍රීසි පිටපතක් අවශ්‍ය බව පෙනී ගිය විට වසර ගණනාවක් ම මාක්ස් ගේ සහ වත්මන් ලේඛකයාගේ මිතුරෙකු වූ සහ මෙම කෘතිය පිළිබඳ අන් කාහටත් වැඩියෙන් හුරුපුරුදු ව සිටි සැමුවෙල් මුවර් මහතා පරිවර්තනය භාර ගැනීමට කැමැත්ත පළ කෙළේ ය. මාක්ස් ගේ සාහිත්‍ය පළ කැරීම භාරව සිටි උදවිය එය පාඨක ජනයා වෙත ඉදිරිපත් කිරිමට නොඉවසිල්ලෙන් බලා සිටියහ. මවිසින් අත් පිටපත මුල් කෘතිය සමග සසඳා බලා මට උචිත යැයි හැඟෙන වෙනස් කිරීම් යෝජනා කරනු ඇතැයි අවබෝධයක් තිබිණි. කල් යත් ම සිය වෘත්තීය රාජකාරි හේතුවෙන් අප බලාපොරොත්තු වූ තරම් ඉක්මනින් පරිවර්තනය කිරීමට මුවර් මහතාට බාධා පැමිණෙන බව හෙළි වූ විට වැඩයෙන් කොටසක් භාර ගැනීමට ආචාර්ය ඇව්ලින් කළ යෝජනාව අපි සතුටින් පිළි ගතිමු. ඒ සමග ම මාක්ස්ගේ බාලම දියණිය වූ ඇව්ලින් මහත්මිය උදෘත සෝදිසි කිරීමටත්, ඉංග්‍රීසි කතුවරයාගෙන් සහ නිල වාර්තා (නිල් පොත් ) වලින් ගෙන මාක්ස් විසින් ජර්මන් බසට පරිවර්තනය කරන ලද බහුල ඡේද ඒවායේ මුල් ඉංග්‍රීසි පිටපත්වලට ප්‍රතිෂ්ටාපනය කිරිමටත් ඉදිරිපත් වූවා ය. නොවැළැක්විය හැකි අවස්ථා කිහිපයක හැරෙන්නට පොතේ මුල සිට අග දක්වාම එසේ කර තිබේ. පොතෙහි පහත දැක්වෙන කොටස් පරිවර්තනය කරන ලද්දේ ආචාර්ය ඇව්ලින් විසිනි. (1) X වැනි පරිච්ඡේදය (වැඩ දිනය) සහ XI වැනි පරිච්ඡේදය (අතිරික්ත වටිනාකමෙහි අනුපාතිකය සහ ස්කන්ධය) (2) VI වැනි කොටස (XIX සිට XXII දක්වා පරිච්ඡේද ඇතුළත් වැටුප්) (3) XXIV වැනි පරිච්ඡේදයෙහි 4 වැනි කාණ්ඩයෙහි (ප්‍රාග්ධනය සහ ආදායම වශයෙන්...) සිට XXIV වැනි පරිච්ඡේදයෙහි අවසාන කාණ්ඩය, XXV වැනි පරිච්ඡේදය සහ මුළු VIII වැනි කොටස (XXIV සිට XXXIII දක්වා පරිච්ඡේද) අවසානය දක්වාම අයත් වන පරිදි පොතෙහි අවසානය දක්වා (4) කතුවරයා ගේ පෙරවදන් දෙක. පොතෙහි ඉතිරි සියල්ල පරිවර්තනය කරන ලද්දේ මුවර් මහතා විසිනි. මෙසේ එක් එක් පරිවර්තකයා ඔහු ගේ වැඩ කොටස ගැන පමණක් වගකියන අතර මුළු කෘතියම සඳහා හවුල් වගකීමක් මා සතුය. දිගට ම අප ගේ කටයුතු වල පදනම වශයෙන් ගන්නා ලද්දේ 3 වැනි ජර්මන් සංස්කරණය යි. 2 වැනි සංස්කරණයෙහි කිනම් පරිච්ඡේද ඉවත් කොට ඒ වෙනුවට ඇතුළත් කළ යුතු 1873 හි පළ කරන ලද ප්‍රංශ පිටපතින් 1 ගත් නම් කරන ලද ඡේද දක්වමින් කතුවරයා විසින් ඉතිරි කර ගිය සටහන් වල ආධාරයෙන් මම එම 3 වැනි ජර්මන් සංස්කරණය සකස් කෙළෙමි. දස වසරකට පමණ පෙර ඇමරිකාවෙහි සැලැසුම් කරන ලද මුත් ප්‍රධාන වශයෙන් ම ගැළපෙන සහ යෝග්‍ය පරිවර්තකයෙකු නොමැති හෙයින් අත්හැර දමන ලද ඉංග්‍රීසි පරිවර්තනයක් සඳහා මාක්ස් ගේ උපදෙස් අඩංගු අත් පිටපත් කාණ්ඩයක නියම කරන ලද වෙනස්කම් සමග 2 වැනි සංස්කරණයේ කරන ලද යථෝක්ත වෙනස්කම් සාමාන්‍යයෙන් සම්පාත විය. මෙම අත්පිටපත පරිශීලනයට අපට ඉඩ සලසන ලද්දේ අපගේ පැරණි මිතුරෙකු වූ නි.ජ. (නිව් ජර්සියෙහි ) හොබොකෙන්හි එෆ්. ඒ. සොර්ගේ මහතා විසිනි. ප්‍රංශ සංස්කරණයෙන් ගත් තවත් අතුරු එකතු කිරීම් කිහිපයක්ද එහි සඳහන් වෙයි. එහෙත් 3 වැනි සංස්කරණයට සපයන ලද අවසාන උපදෙස් වලට වඩා වසර ගණනාවක් පැරණි වූ හෙයින් මඳ වශයෙන් හැර එම උපදෙස් ප්‍රයෝජනයට ගැනීමේ නිදහස මම පාවිච්චි නො කෙළෙමි. ප්‍රධාන වශයෙන් ම එසේ කරන ලද්දේ දුෂ්කරතා මඟ හරවා ගැනීමට උදව්වන අවස්ථාවන්හි දී ය. එපරිද්දෙන් ම බොහෝ දුෂ්කර ඡේදයන්හි ප්‍රංශ පෙළ වෙත යොමු කෙරිණි. ඉදිරිපත් කැරීමෙහි දී මුල් කෘතියෙහි පූර්ණ වැදගත්කම කැප කිරීමට සිදු වූ අවස්ථාවන්හි කතුවරයා ම කැප කිරීමට සූදානම්ව සිටියේ කුමක්දැයි දැක්වීමේ දර්ශකයක් ලෙස අපි එම ප්‍රංශ පෙළ වෙත යොමු වීමු. එහෙත් දුෂ්කරතාවයකින් පාඨකයා නිදහස් කිරීමට අපි අපොහොසත් වීමු: එනම්, සාමාන්‍ය ජීවිතයෙහි දී පමණක් නොව සාමාන්‍ය දේශපාලන ආර්ථික විද්‍යාවෙහි දී ද ඒවා සතු අර්ථයට වෙනස් අර්ථයකින් ඇතැම් පද භාවිතා කැරීමයි. එහෙත් මෙය වැළැක්විය නොහැකි ය. විද්‍යාවක සෑම නව අංගයක්ම එම විද්‍යාවෙහි පාරිභාෂික පදයන්හි විප්ලවයක් සමග සම්බන්ධ වේ. රසායන විද්‍යාව මඟින් මෙය වඩාත් ම හොඳින් පෙන්නුම් කෙරේ. එහි මුල් පදමාලාව ම වසර 20 කට වරක් මූලික වශයෙන් වෙනස් වෙයි. විවිධ නාම සමස්ථ ශ්‍රේණියක් ම පසු නොකළ එකම ඓන්ද්‍රීය සංයෝගයක් රසායන විද්‍යාවෙහි ඔබට හමු නොවන තරම්ය. වාණිජ සහ කර්මාන්ත ජීවිතයෙහි දී පද එලෙසින්ම ගෙන මෙහෙය වීමෙන් දේශපාලන ආර්ථික විද්‍යාව පොදුවේ සෑහීමකට පත්ව සිටියේය. එසේ කිරීමෙහි දී එම පද වලින් ප්‍රකාශිත අදහස්වල පටු සීමා තුළ තමන් කොටු වන බව දැකීමට දේශපාලන ආර්ථික විද්‍යාව මුළුමනින්ම අසමත්ය. මෙසේ ලාභ සහ බදු කුලිය ශ්‍රමිකයා විසින් හාම්පුතාට (පළමු ගසාකන්නාට මිස එහි අවසාන තනි අයිතිකරුට නොවේ) සැපයිය යුතු වන නිෂ්පාදිතයෙහි ගෙවීම් නොලබන කොටසෙහි අනු බෙදීම් බව, කැබලි බව හොඳින්ම දැන සිටි නමුත් සම්භාව්‍ය දේශපාලන ආර්ථික විද්‍යාව පවා කිසිදා ලාභ සහ බදු කුලිය පිළිබඳ පිරුලට ගත් මතවලින් ඔබ්බට ගියේ නැත. නිෂ්පාදනයෙහි (මාක්ස් විසින් අතිරික්ත නිෂ්පාදනය යනුවෙන් හඳුන්වනු ලැබූ) මෙම නොගෙවනු ලබන කොටස සමස්ථයක් ලෙස පූර්ණ භාවයෙන් කිසි දා පරීක්ෂා කළේ නැත. එබැවින් කිසි දා එහි සම්භවය සහ ස්වභාවය පිළිබඳ ව හෝ එහි වටිනාකමෙහි අනුගාමී බෙදාහැරීම නියාමනය කරන නියම පිළිබඳ ව හෝ පැහැදිලි අවබෝධයක් ලබා ගත්තේ නැත. එපරිද්දෙන් ම කෘෂි කර්මාන්තය හෝ හස්ත කර්මාන්තය හෝ නොව සකල කර්මාන්තය ම නිමැවුම් කර්මාන්තය යන පදය යටතේ අවිචාරයෙන් හකුළුවනු ලැබිණි. ඉන් කායික ශ්‍රමයෙහි විභජනය මත පදනම් වූ නියම නිමැවුම් කර්මාන්ත සමය සහ යන්ත්‍රෝපකරණ පදනම් වූ නූතන කර්මාන්ත සමය නමැති ආර්ථීක ඉතිහාසයෙහි හරය වශයෙන් එකිනෙක වෙනස් මහා දෙසමය අතර විසදතාව මකා දමනු ලබයි. කෙසේ වෙතත් නූතන ධනපති නිෂ්පාදනය මානව වර්ගයා ගේ ආර්ථික ඉතිහාසයෙහි හුදු සංක්‍රාන්ති අවධියක් ලෙස සලකන න්‍යායයක් විසින් එම නිෂ්පාදන ස්වරූපය අජරාමර සහ අවසාන ලෙස සලකන ලේඛකයන්ට හුරු පුරුදු පදවලට වෙනස් පද භාවිතා කළ යුතු බව ඉබේට ම පැහැදිළි වන්නකි. උපුටා දැක්වීමේ දී කතුවරයා අනුගමනය කළ විධික්‍රමය පිළිබඳ ව වචනයක් කීම අනුචිත නො වේ යැයි හඟිමි. අවස්ථා බහුතරයක දී ම සුපුරුදු පරිදි උදෘත මඟින් ඉටු වන්නේ පෙළෙහි ඉදිරිපත් කරන කියමන් සඳහා ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීම ය. එහෙත් ආර්ථික විද්‍යා ලේඛකයන් ගේ ඡේද උපුටා දක්වා ඇත්තේ කිසියම් ප්‍රස්තූතයක් කවර දා කොතැනක කවුරුන් විසින් ප්‍රථම වරට ව්‍යාඛයානය කරන ලද්දේ දැයි දක්වනු පිණිස ය, එසේ කරනු ලබන්නේ උපුටා දක්වනු ලබන ප්‍රස්තුතය එවකට බහුල ච පැවති සමාජ නිෂ්පාදන සහ හුවමාරු තත්ත්ව පිළිබඳ කිසියම් දුරකට සෑහෙන ප්‍රකාශයක් ලෙස වැදගත් වන අවස්ථාවන්හි දී ය, එහි දී එම ප්‍රස්තුතයෙහි සාමාන්‍ය වලංගුභාවය පිළිබඳ මාක්ස් තුළ පිළිගැනීමක් වී ද නැද්ද යන්න කොහෙත් ම ගණන් නො ගැනිණි. එබැවින් විද්‍යා ඉතිහාසයෙන් ගත් සජීවී විචාරයක් සැපයීමෙන් මෙම උදෘත මඟින් මෙම පෙළ පරිපූර්ණ කෙරෙයි. අප ගේ පරිවර්තනයට අයත් වන්නේ මෙම කෘතියෙහි පළමුවැනි පොත පමණි, එහෙත් තනි ව ම ගත් කළ මෙම පළමුවැනි පොත බොහෝ දුරට පූර්ණ කෘතියකි. 20 වසරක් ම එය ස්වාධීන කෘතියක් ලෙස සලකනු ලැබිණි. වසර 1885 දී මවිසින් ජර්මන් බසින් සංස්කරණය කරන ලද දෙවැනි පොත තුන් වැනි පොත නොමැතිව ගත් විට තීරණාත්මක ව අසම්පූර්ණ ය. තුන් වැනි පොත 1887 අවසානය තෙක් පළ කළ නොහැකි ය, මුල් ජර්මන් බසින් තුන් වැනි පොත පළ වූ පසු දෙවැනි සහ තුන් වැති පොත් දෙකෙහි ම ඉංග්‍රීසි පරිවර්තනයක් ගැන සිතීමට කාලය යුහුසුළු ව එළඹෙනු ඇත. මහාද්වීපය තුළ Das Kapital හඳුන්වනු ලබන්නේ "කම්කරු පංතියෙහි බයිබලය" යනුවෙනි. ජර්මනියෙහි සහ ස්විස්ටර්ලන්තයෙහි පමණක් නොව ප්‍රංශයෙහි, ඕලන්දයෙහි සහ බෙල්ජියමෙහි ද, ඇමරිකාවෙහි ද, ඉතාලියෙහි සහ ස්පාඤ්ඤයෙහි පවා ද මෙම කෘතියෙහි එළඹ ඇති නිගමන ශ්‍රේෂ්ට කම්කරු පංති ව්‍යාපාරයෙහි මූලික මූලධර්ම බවට දෛනික ව වඩ වඩාත් පත්වන බවත් හැම තැන ම කම්කරු පංතිය විසින් මෙම නිගමන සිය තත්ත්වයෙහි සහ ප්‍රාර්ථනයන්හි ඉතාමත් ම පරිසමාප්ත ප්‍රකාශනය බවත් එම ව්‍යාපාරය දන්නා හඳුනන කිසිවෙකු විසින් ප්‍රතික්ෂේප නොකරනු ඇත. එංගලන්තයෙහි ද කම්කරු පංතිය අතර මෙන් ම ”"ශිෂ්‌ට”” ජනයා අතර ද පැතිරෙන සමාජවාදී ග ව්‍යාපාරය කෙරෙහි මාක්ස් ගේ න්‍යාය, මේ මොහොතෙහි පවා ප්‍රබල බලපෑමක් ඇති කරයි. එමතු ද නොවෙයි. එංගලන්තයෙහි ආර්ථික තත්ත්වය ගැඹුරින් පිරික්සීම පිටුදැකිය නොහැකි ජාතික අවශ්‍යතාවක් බවට බලයෙන් ම පත්වන කාලය කඩිනමින් ළං වෙයි. නිෂ්පාදනයෙහි සහ එබැවින් වෙළෙඳපොළෙහි නියත සහ කඩිනම් ව්‍යාප්තියකින් තොර ව ක්‍රියාත්මක කළ නොහැකි රටේ කර්මාන්ත ක්‍රමය මුළුමනින් ම ඇණ හිටින්නට ආසන්න වෙයි, නිදහස් වෙළෙඳාම සිය සම්පත් වැය කොට හමාර ය. මැන්චෙස්ටර් පවා සිය පැරණි ආර්ථික දේව වාක්‍යය වන එය ගැන සැක පහළ කරයි 2, ආරක්ෂිත වෙළෙඳපොළවල පමණක් නොව මැදහත් වෙළෙඳපොළ සහ ම්ඩයෙන් [[ඉංග්‍රීසි ඕඩය - පරිවර්තක ]] මේ පැත්තෙහි පවා ද හැම තැන ම කඩිනමින් සංවර්ධනය වන විදේශ කර්මාන්ත ඉංග්‍රීසි නිෂ්පාදනය සමග මුහුණට මුහුණ ලා සිටී. නිෂ්පාදන ශක්තිය ජ්‍යාමිතික අනුපාතයකින් වැඩිවන අතර වෙළෙඳපොළ ව්‍යාප්ත වන්නේ උඩත් පිරිසෙයින් සමාන්තර අනුපාතයකිනි. වසර 1823 සිට 1867 දක්වා හැම දා පුනරාවර්තනය වන නිෂ්චනලය, සෞභාග්‍යය, අධි නිෂ්පාදනය සහ අර්බුදය අයත් දස අවුරුදු චක්‍රය ඇත්තෙන් ම සිය ගමන් මඟ ගෙවා භමාර බව පෙනෙන මුත් සිදු ව ඇත්තේ අධෛර්යයට පත් කරවන නිත්‍ය සහ නිධන්ගත අවපාතයක මඩ වගුරකට අප ව ඇද දැමීම පමණි. සුසුම්ලමින් බලා හුන් සෞභාග්‍යය සමය නොඑනු ඇත. එය ළඟා වන නිමිති අප දකින හැම විට ම වාගේ ඒවා යළිත් වාතයේ අතුරුදහන්ව යයි. මේ අතර සෑම අනුගාමී සිසිර සමය ම ”"රැකියා නැත්තවුන්ට කරන්නේ කුමක්ද?"" යන මහා ප්‍රශ්නය අලුතින් මතු කරයි. එහෙත් වසරින් වසර රැකියා නැත්තවුන් ගේ සංඛ්‍යාව ඉහළ නඟිතත් එම ප්‍රශ්නයට පිළිතුරු දීමට කිසිවෙකු නැත. රැකියා නැත්තවුන් ගේ ඉවසීම කෙළවර වී ඔවුන් තම ඉරණම තම අතට ම ගන්නා මොහොත අපට ගණනය කළ හැකි තරම් ය. තම සම්පූර්ණ න්‍යාය ජීවිත කාලය මුළුල්ලේ ම එංගලන්තයේ ආර්ථික ඉතිසාහය සහ තත්ත්වය අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් කොට ගත්තා වූ ද යටත් පිරිසෙයින් යුරෝපයෙහි වත්, අනිවාර්ය සමාජ විප්ලවය සහමුලින් ම සාමකාමී සහ නීත්‍යනුකූල මාර්ගයෙන් ක්‍රියාවට නැඟිය හැකි එක ම රට එංගලන්තය විය හැකි යැයි යන නිගමනයට එම අධ්‍යයනයෙන් එළඹියා වූ ද මිනිසෙකු ගේ කටහඩ'ට මෙබඳු මොහොතක සත්තකින් ම සවන් දිය යුතුය. ""වහල්කමට ලැදි කැරැල්ලකින්"” තොර ව ඉංග්‍රීසි පාලක පංති මෙම සාමකාමී සහ නීත්‍යනුකූල විප්ලවයට යටත් වෙනු ඇතැයි තමන් කිසි විටෙක බලාපොරොත්තු නොවන බව එක් කිරිමට සත්තකින් ම ඔහු කිසි දා අදහස් කෙළේ නැත. ෆ්‍රෙඩරික් එංගල්ස් 1886 නොවැම්බර් මස 05 'සටහන් :
- "Le Capital, par Karl Marx. Traduction de M.J.Roy,enterment revise par Tauteur. Paris, Lachatre. 2.මෙම පරිවර්තනය, විශේෂයෙන් ම එහි අවසාන කොටස දෙවැනි ජර්මන් සංස්කරණයෙහි පෙළෙහි වෙනස්කිරිම් සහ ඊට කරන ලද එකතු කිරීම්වලින් සමන්විත ය. 3.අද අපර භාගයේ පවත්වන ලද මැන්චෙස්ටර් වෙළඳ මණ්ඩලයෙහි ත්‍රෛ මාසික රැස්වීමෙහි දී නිදහස් වෙළෙඳාම නමැති විෂය අරභයා සුහද විවාදයක් ඇති විය. ””'එංගලන්තයෙහි නිදහස් - වෙළෙඳ ආදර්ශය සෙසු රටවල් විසින් අනුගමනය කරනු ඇතැ යි 40 වසරක් නිෂ්ඵල ව බලා සිටීමෙන් අනතුරු ව යළි සලකා බැලීමට කාලය දැන් පැමිණ ඇතැ යි මෙම මණ්ඩලය අදහස් කරන”" බවට යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර එක් වැඩි ඡන්දයකින් පමණක් එම යෝජනාව ප්‍රතික්ෂේප කෙරිණි. ඊට පක්ෂ ව ඡන්ද 21 ක් ද විපක්ෂව ඡන්ද 22 ක් ද ලැබිණි. 1886 නොවැම්බර් 01 දා Evening Standard. Marxist University #මාක්ස්වාදීවිශ්වවිද්යාලය