← Back to Articles

ෆැසිස්ට්වාදය - මාක්ස්-ලෙනින්වාදී දෘෂ්ටිකෝණයකින්

2026-01-21By Dimuth Bhanuka

අප ජීවත් වන මෙම යුගය යනු ලෝක දේශපාලන ප්‍රතිවිරුද්ධතාවයන් තීව්‍ර වෙමින් පවතින යුගයකි. එම නිසා ෆැසිස්ටාවදය සම්බන්ධව පැහැදිලි අර්ථකතනයක් ඇති කරගැනීම වටී. ෆැසිස්ට්වාදය සම්බන්ධව බොහෝ අර්ථකතන අපට දැකිය හැකි වුවත් ඒවා බොහොමයකින් අපට ෆැසිස්ට්වාදය සම්බන්ධව පැහැදිලි හෝ නිරවුල් අර්ථකතනයක් ඉදිරිපත් කරන්නේ නොමැත. ඒවා බොහොමයක් ෆැසිස්ට්වාදය යන දෙය ඒකාධිපතිවාදයට, මිලිටරිවාදයට මෙන්ම ඒක පක්ෂ ක්‍රමය යන නොවැදගත් ලක්ෂණ වලට මෙන්ම ෆැසිස්ට් නායකයන්ගේ පුද්ගලික ලක්ෂණ වලට සීමා කොට ඇත. මෙම ෆැසිස්ට්වාදය සම්බන්ධ බොහෝ ජනප්‍රිය අර්ථකතන නිසා ඇති වන්නේ වියවුල් ස්වභාවයකි. අප දකිනවා සමහර ලිබරල් ධනේශ්වර චින්තකයන් මෙම අර්ථකතනය යොදාගනිමින් කොමියුනිස්ට්වාදය එනම් විශේෂයෙන්ම සමාජවාදී සෝවියට් සංගමය ද ෆැසිස්ට් රාජ්‍යයක් යැයි ලේබල් ගසමින් ඇත. මේ නිසා ෆැසිස්ට්වාදය යන ප්‍රපංචය මාක්ස්-ලෙනින්වාදී දෘෂ්ටිකෝණයකින් අර්ථකතනය කරගැනීම කාලීන පංතිමය අවශ්‍යතාවයකි.

මාක්ස්-ලෙනින්වාදය අධ්‍යයන ප්‍රවේශයක් ලෙස ගෙන ෆැසිස්ට්වාදය අධ්‍යයනය කිරීමේදී මට සිතන ආකාරයට නම් එකල ජර්මනියේ නාසිවාදින් විසින් Reichstag ගොඩනැගිල්ලට ගිනි තබා එය කොමියුනිස්ට්වාදින් විසින් ගිනි තැබූ යැයි චෝදනා කිරීමේදී එම ෆැසිස්ට් නාසි උසාවි තුල නොබියවම කොමියුනිස්ට්වාදය වෙනුවෙන් කතා කල බල්ගේරියාවේ හිටපු අගමැති Georgi Dimitrov අපට වැදගත් වේ. ෆැසිස්ට්වාදය සම්බන්ධව ඔහුගේ අර්ථකතනය වන්නේ මෙයයි,

"Fascism is an open terrorist dictatorship of the most reactionary, chauvinistic, and imperialistic features of financial capital.

Fascism is neither transcended class authority nor small bourgeois or lumpen proletariat over financial capital.

Fascism is the authority of the financial capital itself."

"ෆැසිස්ට්වාදය යනු මූල්‍ය ප්‍රාග්ධනයේ වඩාත්ම ප්‍රතිගාමී, ස්වෝත්තමවාදී සහ අධිරාජ්‍යවාදී ලක්ෂණවලින් යුත් විවෘත ත්‍රස්තවාදී ආඥාදායකත්වයකි.

ෆැසිස්ට්වාදය යනු පන්ති අධිකාරිය ඉක්මවා ගිය එකක් හෝ මූල්‍ය ප්‍රාග්ධනයට වඩා කුඩා ධනේශ්වර හෝ ලුම්පන් නිර්ධන පංතියක් නොවේ.

ෆැසිස්ට්වාදය යනු මූල්‍ය ප්‍රාග්ධනයේම අධිකාරියයි."

"This is terrorist violence against the working class, revolutionary peasants, and intelligentsia.

Fascism in foreign policy is the harsh chauvinism that cultivates hatred against other peoples."

"මෙය කම්කරු පන්තියට, විප්ලවවාදී ගොවීන්ට සහ බුද්ධිමතුන්ට එරෙහි ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයකි.

විදේශ ප්‍රතිපත්තිය තුල ෆැසිස්ට්වාදය යනු අනෙකුත් ජනයාට එරෙහිව වෛරය වගා කරන දරුණු ස්වෝත්තමවාදයයි."

මෙම අර්ථකතනය ද පදනම් කොටගෙන තවදුරටත් ෆැසිස්ට්වාදය අධ්‍යයනය කිරීමේදී බොහෝ ලිබරල් චින්තකයන් සෑම ආකාරයකම ආඥාදායකත්වයන් සමඟ ෆැසිස්ට්වාදය අනන්‍ය කිරීමට උත්සාහ ගනී. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා කරන, ජාතිකවාදය හා දේශප්‍රේමය ප්‍රවර්ධනය කරන, හා මිලිටරිවාදය ප්‍රචාරය කරන ඕනෑම රටක් රාජ්‍යක් ඔවුන් ෆැසිස්ට් යැයි නම් කරනු ලැබේ. නමුත් මෙම පටු අර්ථකතනය මගින් නිරූපණය වන්නේ ෆැසිස්ට්වාදයේ මතුපිට පෙනුම පමණක් වන අතර ෆැසිස්ට්වාදයේ අභ්‍යන්තරික ව්‍යුහාත්මක හරය මෙම අර්ථකතනය විසින් සඟවයි. මාක්ස්-ලෙනින්වාදින් මෙම ලිබරල් අර්ථකතනය ප්‍රතික්ෂේප කරන අතර මාක්ස්-ලෙනින්වාදින්ට ෆැසිස්ට්වාදය යනු එහි මතුපිට ක්‍රියාකරීත්වය පමණක් නොවන අතර ඒ වෙනුවට වඩා වැදගත් වන්නේ ෆැසිස්ට්වාදය මතු වන්නේ සහ එය සේවය කරන්නේ කාටද යන්නයි.

ෆැසිට්වාදයේ ආර්ථිකමය මූලයන් සලකා බැලීමේදී මාක්ස්-ලෙනින්වාදයට අනුව ෆැසිස්ට්වාදය මතු වන්නේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදයට ප්‍රතිචාරයක් වශයෙනි. ආර්ථික අර්බුදයන්, විරැකියාව, සහ විප්ලවවාදී කම්කරු පංතික ව්‍යාපාර නැගී ඒම වැනි අර්බුදයන්ට ධනේශ්වර ක්‍රමය මුහුණ දෙන විට පාලක පංතිය වන ධනේශ්වර පංතිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අතහැර දමා ෆැසිස්ට්වාදය වෙතට ගමන් කරයි. මේ ආකාරයට මතුව එන ෆැසිස්ට්වාදය කම්කරු පංති ව්‍යාපාරය මර්ධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අහෝසි කිරීම, තුළින් ධනේශ්වර දේපළ සහ ධනේශ්වර පංති සම්බන්ධතා ආරක්ෂා කරන ඒකාධිපති ප්‍රචණ්ඩ පාලන තන්ත්‍රයක් ස්ථාපනය කරයි.

මේ අනුව ෆැසිට්වාදය යනු ඉබේ හටගන්නා දෙයක් නොවේ. මධ්‍යම පංතියෙන් සහ කම්කරු පංති කොටස් වලින් ජන්ප්‍රියවාදය ඔස්සේ ෆැසිස්ට්වාදයට සහය ලැබුනත් අවසාන විග්‍රහය තුලදී ෆැසිස්ට්වාදයට ආධාර දෙන්නේ ද එය ක්‍රියාත්මක කරන්නේ ද තමන්ගේ පංති ආධිපත්‍ය රැකගැනීමට උත්සාහ කරන ධනේශ්වර පංතියේ කොටස් විසිනි. ඉතාලියේ මුසෝලිනී ගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රය එමෙන්ම ජර්මනියේ හිට්ලර්ගේ නාසිවාදී පාලන තන්ත්‍රයට සැලකිය යුතු ප්‍රමාණයක මූල්‍යමය සහ දේශපාලන ආධාරයක් එකල කාර්මික සහ මූල්‍ය ධනපති පංතිය විසින් ලබා දී ඇත. මෙම ආකාරයට වූ ෆැසිස්ට් තන්ත්‍රයන් විසින් එම රටවල වෘත්තීය සමිති මෙන්ම කොමියුනිස්ට් ප්‍රමුඛ වාමාංශික පක්ෂ තහනම් කිරීම සහ විශාල රාජ්‍ය මර්ධනයක් මුදා හැරීම ද සිදු කළේය. මේ සියලු දේ කරන ලද්දේ වර්ධනය වෙමින් පවතින විප්ලවීය බලපෑමට එරෙහිව තමන්ගේ ආධිපත්‍ය රැක ගැනීමටයි.

එසේම ෆැසිස්ට්වාදය සලකා බැලීමේදී එය ජාතික සමගියේ මෙන්ම සමහර අවස්ථා වලදී සමාජ විප්ලවයේ ව්‍යාපාරයක් ලෙස ද පෙනී ඉන්නට උත්සාහ ගනී. සමහර අවස්ථා වලදී ෆැසිස්ට්වාදින් විසින් ධනේශ්වර විරෝධී සටන් පාඨ පවා ඉදිරිපත් කරයි. නමුත් මේවා මායාවන් වන අතර මෙ'මගින් උත්සාහ කරනුයේ කම්කරු පංතිය ඇතුළු පීඩිතයන්ව නොමඟ යැවීමයි. මෙමගින් ධනේශ්වර පාලක පංතිය කෙරෙහි වූ කම්කරු පංතියේ වෛරය වෙනතකට යොමු කරනු ලැබේ. බොහෝ දුරට සුළු වාර්ගික ජන කොටස් වලට, සංක්‍රමණිකයන්ට මෙන්ම විදේශීය බලවේග වලට එරෙහිව මෙම වෛරය පතුරුවනු ලබයි.

ලිබරල්වාදය තුල "ෆැසිස්ට්වාදය" සහ "කොමියුනිස්ට්වාදය" යන සංකල්ප දෙකම අන්තවාදී සංකල්ප ලෙස හඳුන්වන අතර නමුත් මාක්ස්-ලෙනින්වාදයට අනුවනම් "ලිබරල්වාදය" සහ "ෆැසිස්ට්වාදය" යනු එකම කාසියේ දෙපැත්ත බඳුය. ධනේශ්වර ක්‍රමය ස්ථාවර කාලවලදී පාලක පංතිය ප්‍රජාත්‍රන්ත්‍රවාදය දෙසට හැරෙන අතර එය අස්ථාවර කාලවලදී ෆැසිස්ට්වාදය වෙතට ගමන් කරයි.

මේ අනුව ෆැසිස්ට්වාදය වැලැක්වීමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමාණවත් නොවන අතර එහිදී ෆැසිස්ට්වාදයේ මූලයන් වන ධනේශ්වර සූරාකෑම සහ අසමානතාවය තුරන් කළ යුතුය. ඒ සඳහා පවතින මාර්ගය වනුයේ කොමියුනිස්ට්වාදයයි.

මේ ආකාරයට වූ ෆැසිස්ට්වාදී පාලන තන්ත්‍රයන් එකල ඉතාලියේ මුසෝලිනී ගෙන් පටන් ගෙන, ජර්මනියේ හිට්ලර්ගේ නාසිවාදය, ස්පාඥ්ඥය, වැනි තව බොහෝ රටවල මතුව ආ අතර එය විසින් මුළු මහස් මිනිස් ශිෂ්ඨාචාරයටම තර්ජනය කරනු ලැබීය. නමුත් අවසානයේදී සමාජවාදී සෝවියට් සංගමයේ සන්නද්ධ නිර්ධන පංතියේ රතු හමුදාව විසින් අනුකම්පා විරහිතව ෆැසිස්ට්වාදය මේ ලොව තුළින් අතුගා දැමුවේය.

නමුත් දැන් සෝවියට් දේශයක් නොමැත. ධනවාදය ද එලෙසම පවතී මේ නිසා ෆැසිස්ට්වාදය නැවත මතුව ඒමේ තර්ජනයක් ඇත. මේ නිසා කම්කරු පංතියට නායකත්වය දෙන කොමියුනිස්ට් පක්ෂය වෙත දැවැන්ත කාර්‍යභාරයක් කිරීමට සිදුව තිබේ. එය නම් විප්ලවවාදී කම්කරු පංතිය සංවිධානය කොට ධනවාදය මුළු ලොවෙන්ම අනුකම්පා විරහිත ලෙසට ප්‍රචණ්ඩකාරී ලෙසට අතුගා දැමීමයි. මේ අනුව ෆැසිස්ට්වාදය සම්පූර්ණයෙන්ම අතුගා දැමිය හැකි වන්නේ කොමියුනිස්‍ට් විප්ලවයකට පමණි.

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்