← Back to Articles

දෙවැනි ජර්මන් සංස්කරණයෙහි පසුවදන

2026-05-06By Karl Marx

දෙවැනි සංස්කරණයෙහි සිදු කළ වෙනස්කම් පළමු වැනි සංස්කරණයෙහි පාඨකයන්ට දැනුම් දීමෙන් මා පටන් ගත යුතුය. පොතෙහි පැහැදිලිතර පිළිවෙළ එක් වර යමෙකුගේ සිත ඇද ගනු ඇත. අතිරේක සටහන් හැම තැනම ලකුණු කර ඇත්තේ දෙවැනි සංස්කරණයට යෙදූ සටහන් වශයෙනි. පෙළට ම අදාල ඉතා වැදගත් කරුණු මෙහි පහත දැක්වෙන පරිදි වෙයි. සෑම හුවමාරු වටිනාකමක් ම ප්‍රකාශ කෙරෙන සමීකරණ විශ්ලේෂණයක් මඟින් වටිනාකම ව්‍යුත්පන්න කිරීම වැඩිතර විද්‍යාත්මක නිරවද්‍යතාවයකින් යුතු ව 1 වැනි පරිච්ඡේදයෙහි 1 වැනි කාණ්ඩයෙහි දී සිදු කර තිබේ. එමෙන් ම පළමු වැනි සංස්කරණයෙහි යන්තමින් සඳහන් කොට තිබූ වටිනාකමෙහි හරය සහ සමාජමය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලය මඟින් වටිනාකමෙහි විශාලත්වය නිශ්චය කිරීම අතර පවත්නා සම්බන්ධය දැන් පැහැදිලිව අවධාරණය කර තිබේ. 1 වැනි ඡේදයෙහි 3 වැනි කාණ්ඩය (වටිනාකමෙහි ස්වරූපය) සහමුලින්ම සංශෝධනය කොට ඇත. අන් කිසිවක් නිසා නොවූවත් පළමු වැනි සංස්කරණයෙහි එය දෙවරක් විවරණය කර තිබීම නිසා එම කටයුත්ත අවශ්‍ය කෙරිණි. එම ද්විත්ව විවරණය සිදු වූයේ මා මිත්‍ර හැනෝවර්හි ආචාර්ය එල්. කුගෙල්මාන් නිසා බව මෙහි ලා අමතර කරුණක් වශයෙන් සඳහන් කළ යුතු ය. 1867 වසන්තයෙහි මා ඔහු හමුවීමට ගොස් සිටි කාලයෙහි මට හැම්බර්ග් සිට මුල් සෝදුපත් ලැබුණි. වටිනාකමෙහි ස්වරූපය පිළිබඳ ශික්ෂා න්‍යායානුකූල අතිරේක පැහැදිලි කිරිමක් බොහෝ පාඨකයන්ට අවශ්‍ය කෙරෙන බව ඔහු මට ඒත්තු ගැන්වීය. පළමු වැනි පරිච්ඡේදයෙහි අවසාන ඛණ්ඩය (හුවමාරු භාණ්ඩ අධිවන්දනාව ) බෙහෙවින් වෙනස් කරන ලදී. තුන්වැනි ඡේදයෙහි 1 වැනි ඛණ්ඩය ( වටිනාකමෙහි මිම්ම) ප්‍රවේශමින් සංස්කරණය කරන ලද්දේ පළමු වැනි සංස්කරණයෙහි දී මෙම ඛණ්ඩය අනවධානයෙන් සලකන ලද බැවිණි. එහි දී සිදු කරන ලද්දේ , Zur Kitik dr politischen Oekonomie" හි දෙන ලද පැහැදිලි කිරිම් වෙත පාඨකයා යොමු කිරීම පමණකි. 7 වැනි ඡේදය, විශේෂයෙන්ම 2 වැනි කොටස ( ඉංග්‍රීසි සංස්කරණය, IX වැනි පරිච්ඡේදය, 2 වැනි ඛණ්ඩය) බොහෝ දුරට යළි ලියා තිබේ. පෙළට අඩ වශයෙන් කරන ලද, බොහෝ දුරට හුදෙක් ශෛලීගත වූ වෙනස්කම් සියල්ල සාකච්ඡා කිරීම කාලය අපතේ හැරීමක් වනු ඇත. පොත පුරා ම ඒවා තිබේ. එතෙකුදු වුව ජර්මන් මුල් පිටපතෙහි ඇතැම් කොටස් සෑහෙන තරම් යළි සකස් කළ යුතු බවත්, තවත් කොටස් දැඩි ශෛලිගත සංස්කරණය ට පාත්‍ර කළ යුතු බවත්, තවත් තැන්හි ඉඳහිට සිදුව ඇති අත් වැරදි ඉවත් කිරීමේ දුෂ්කර කටයුත්ත ඉතිරි ව ඇති බවත්, පැරිසියේ පළවන ප්‍රංශ සංස්කරණය සංශෝධනයෙහි දී මට දැන් පෙනී යයි. එහෙත් ඒ සඳහා කාලය නො තිබිණි. මන්ද යත්, පොත විකිණී අවසන් බවත්, දෙවෙනි සංස්කරණය මුද්‍රණය කිරිම 1872 ජනවාරියෙහි ඇරඹෙනු ඇති බවත් මට දන්වන ලද්දේ වෙනත් හදිසි කටයුතු වල මා තරයේ නියැලී සිටි 1871 සරත් සමයෙහි පමණ බැවිණි. මගේ ශ්‍රමය ලත් හොඳම ත්‍යාගය ජර්මන් කම්කරු පංතියෙහි පුළුල් කොටස් අතර Das Kapital කඩිනමින් ලත් ඇගයීම ය. පාරම්පරික ජර්මන් උරුමයක් ලෙස සලකන ලද න්‍යාය දැරිමේ ධාරිතාව ජර්මනියෙහි ඊනියා උගත් පංතීන්ගෙන් සහමුලින් ම පහව ගොස් ඇති මුත් ඊට ඉඳුරා පටහැනි ලෙස ජර්මන් කම්කරු පංතිය තුළ එම ධාරිතාවෙහි පුනර්ජීවනය ජය කෙහෙළි නංවනු ඇතැයි යන අදහස ප්‍රංශ - ජර්මන් යුධ සමයෙහි පොත් පිංචක් පළ කරමින් ආර්ථික කරුණුවල දී ධනේශ්වර මතය නියෝජනය කළ ගර්මයේර් නමැති වියානාහි නිමැයුම් කර්මාන්ත හිමියෙක් ව්‍යක්ත ලෙස ඉදිරිපත් කළේය. වර්තමාන මොහොතෙහි දේශපාලන ආර්ථික විද්‍යාව ජර්මනිය තුළ විදේශීය විද්‍යාවකි. ජර්මනිය තුළ ධනපති නිෂ්පාදන ප්‍රකාරයෙහි සංවර්ධනය සහ ආනුෂංගික ව එකම රට තුළ නූතන ධනේශ්වර සමාජයෙහි සංවර්ධනය වළක්වා ලූ ඉතිහාසමය තත්ත්ව ගුස්ටාෆොන් ගිසුලිව් සිය "" වාණිජය සහ කර්මාන්ත ආදියෙහි ඉතිහාසමය විස්තාරණනය 1 ' තුළ, විශේෂයෙන් ම 1830 දී පළ කළ මුල්ම වෙළුම් දෙකෙහි දීර්ඝ වශයෙන් විමර්ශනය කළේය. මෙසේ දේශපාලන ආර්ථික විද්‍යාව පැන නැගෙන පස එහි නොවීය. නිමි භාණ්ඩයක් ලෙස මෙම " විද්‍යාව" එංගලන්තයෙන් සහ ප්‍රංශයෙන් ආනයනය කිරීමට සිදු විය. එහි ජර්මන් මහාචාර්යවරු පාසල් ළමුන් ගේ තත්ත්වයෙහි පසු විය. ඔවුන් අතට පත් විදේශ යථාර්ථයක න්‍යායයික ප්‍රකාශනය ඔවුන් වටා වන සුළු වෙළෙඳ ලෝකය අනුසාරයෙන් අර්ථ කථනය කරනු ලැබ සහ එබැවින් සාවද්‍ය ව අර්ථ කථනය කරනු ලබන ලබ්ධි සංග්‍රහයක් බවට පෙරැළිනි. එක්කෝ ශාස්ත්‍රීය සහ ඉතිහාසමය පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනයෙන් හෝ නැතහොත් ජර්මන් නිලධර පෙළට ළගා වන්නට පතන වැදගැම්මකට නැති අපේක්ෂකයන් විසින් ගත යුතු ''' විරේකයක් සහ මතුපිට දැනුම් අච්චාරුවක් වන ඊනියා කබරල් ''" විද්‍යාවන්ගෙන් පිරුළට ගත් බාහිර කරුණු සංකලනයක් මඟින් හෝ සහමුලින්ම යටපත් කළ නොහැකි හැඟීමක් වන විද්‍යාත්මක බෙලහීනතාව පිළිබඳ හැඟීම සහ මුළුමනින් ම තමන්ට නුහුරු විෂයකට අතගසන්නට වීමෙන් හටගත් කැළඹුණු විඥානය සඟවන ලද්දේ අසම්පූර්ණ වශයෙනි. වසර 1848 න් පසු ජර්මනියෙහි ධනපති නිෂ්පාදන කඩිනමින් සංවර්ධනය විය. දැන් එය සමපේක්ෂණයෙහි සහ මහා වංචාවන්හි හිනි පෙතට නැඟ ඇත. එහෙත් අපේ වෘත්තීය ආර්ථික විද්‍යාඥයන්ට දෛවය තවමත් අහිතකරය. දේශපාලන සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ව සෘජු විලාශයකින් කටයුතු කිරීමට ඔවුන් සමත් වූ කාලයෙහි ජර්මනිය තුළ නූතන ආර්ථික තත්ත්ව සැබවින් ම නො පැවැතියේය. එම තත්ත්ව බිහි වූ වහා ම ඔවුන් එසේ කටයුතු කෙළේ ධනේශ්වර ක්ෂිතිජයෙහි සීමා තුළ සැබැවින් ම සහ අපක්ෂපාතී ව තවදුරටත් ඒවා විමර්ශනය කළ නොහැකි තත්ත්ව යටතේය. දේශපාලන ආර්ථික විද්‍යාව එම ක්ෂිතිජය තුළ රැඳෙන තාක්, එනම් සමාජයෙහි පරිණාමයෙහි දී ඉක්මවනු ලබන සමාජමය කලාවක් ලෙස නොව එම නිෂ්පාදනයෙහි නිරපේක්ෂ අවසාන ස්වරූපය ලෙස ධනපති පාලනය දෙස බලන තාක් දේශපාලන ආර්ථික විද්‍යාවට විද්‍යාවක් වශයෙන් රැඳී පැවතිය හැකි වන්නේ පංති අරගලය නිලීන වන තාක් හෝ හුදකලා සහ ඉඳහිට පැන නැගෙන ප්‍රපංච ලෙස ප්‍රකට වන තාක් හෝ පමණකි. එංගලන්තය ගෙන බලමු. එහි දේශපාලන ආර්ථික විද්‍යාව අයත් වන්නේ පංති අරගලය ඒ වන විටත් අසංවර්ධිතව පැවති කාල පරිච්ඡේදයකට ය. අවසානයෙහි දී එහි අන්තිම ශ්‍රේෂ්ට නියෝජිතයා වන රිකාඩෝ තම විමර්ශනයෙහි ආරම්භක ලක්ෂ්‍යය ලෙස දැනුවත්වම තෝරා ගත්තේ පංති උවමනාවන්හි ද, වැටුප් සහ ලාභ වල ද, ලාභ සහ බදු කුලියෙහි ද ප්‍රතිඝතිකතාවය. ඔහු බොළඳ ලෙස මෙම ප්‍රතිඝතිකතාව සැලැකුවේ ස්වභාව ධර්මයෙහි සමාජ නියමයක් ලෙස ය. එහෙත් මෙම ආරම්භය මඟින් ධනේශ්වර ආර්ථික විද්‍යාව ඊට පසු කළ නොහැකි සීමාවන්ට ළඟා වී ඇත. රිකාඩෝ ගේ ජීවිත කාලයෙහි දී ම සිස්මොන්ඩ් ඔහුට විරුද්ධ ව ධනේශ්වර ආර්ථික විද්‍යාව විවේචනය කෙළේය.2 දේශපාලන ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයෙහි විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය පිළිබඳ ව 1820 සිට 1830 දක්වා වූ අනුගාමී කාල පරිච්ඡේදය එංගන්තයෙහි කැපී පෙනේ. එය රිකාඩෝගේ නම්‍ය ග්‍රාම්‍යකරණයට සහ ව්‍යාප්තියට ලක් වූ සමයක් මෙන් ම එම න්‍යාය පැරණි ගුරු කුලයට විරුද්ධ ව තරග කළ සමයක් ද විය. කදිම තරගමාලා පැවැත්විණි. එකල සිදු කරන ලද දේ සාමාන්‍යයෙන් මහාද්වීපයට දැන ගන්නට ලැබුණේ ස්වල්ප වශයෙනි. මන් ද යත් බොහෝ දුරට එම වාග් සංග්‍රාමය විචාර සංග්‍රහයන්හි පළ වූ ලිපි, ඉඳහිට පළ වූ සාහිත්‍ය හා පොත් පිංචි අතර විසිර පැවති බැවිණි. ව්‍යතිරේක අවස්ථාවන්හි ධනේෂ්වර ආර්ථික විද්‍යාවට විරුද්ධ අවියක් ලෙස ඒ වන විටත් රිකාඩෝ ගේ න්‍යාය යොදා ගනු ලැබූ මුත්, එම වාග් සංග්‍රාමයෙහි පැවති අගති රහිත ස්වභාවය එසමයෙහි පැවති තත්ත්වයන්ගෙන් පැහැදිලි කෙරේ. එක් අතකින් නූතන කර්මාන්තය ම බාල කාලයෙන් වැඩී මතු වන්නට පටන් ගත්තා පමණි. වසර 1825 අර්බුදය සමග නූතන කර්මාන්තය විසින් සිය නූතන ජීවිතයෙහි චාරිකා චක්‍රය විවෘත කිරීමෙන් එය පෙන්නුම් කෙරේ. අනෙක් අතට ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර පංති අරගලය පසු තලයට තල්ලු කෙරෙයි. එයට දේශපාලන වශයෙන් හේතු වූයේ එක් අතකින් ආණ්ඩු සහ ශුද්ධ සන්ධාන වටා රොක් වූ වැඩවසම් වංසක්කාර පැළැන්තියත්, අනෙක් අතින් ධනේශ්වර පංතියේ නායකත්වයෙන් යුත් සෙසු ජනතාවත් අතර පැවති මත භේදයයි. කර්මාන්ත ප්‍රාග්ධනය සහ වංසක්කාර පැළැන්තියෙහි ඉඩම් හිමි දේපළ අතර පැවති කලහය ඊට ආර්ථික වශයෙන් හේතු කාරක විය. කුඩා සහ විශාල ඉඩම් හිමි දේපල අතර වූ විරුද්ධත්වය හේතුවෙන් මෙම කලහය ප්‍රංශයෙහි සැඟවී තිබිණි. ධාන්‍ය නීති වලින් පසු එංගලන්තයෙහි එම කලහය එළිපිටම පැන නැඟිණි. වෛද්‍ය ක්වීස්ගේ ගේ මරණින් පසු ප්‍රංශයේ හටගත් කුණාටු ගහණ ඉදිරි ගමන මෙසමයෙහි එංගලන්තයෙහි දේශපාලන ආර්ථික විද්‍යා සාහිත්‍යය මඟින් සිහිපත් කරවයි. එහෙත් එසේ කරන්නේ ශාන්ත මාටින්ගේ නිම්නයෙන් අපට වසන්තය සිහිපත් කරවන පරිද්දෙනි. 1830 වසරත් සමග තීරණාත්මක අර්බුදය පැමිණියේ ය. ප්‍රංශයේ සහ එංගලන්තයේ ධනේශ්වර පංතිය දේශපාලන බලය දිනා සිටියේය. එවක් පටන් පංති අරගලය, න්‍යායික ව මෙන්ම ප්‍රායෝගික වද වඩ වඩා උච්චස්වර සහ තර්ජනාත්මක ස්වරූප ගත්තේ ය. විද්‍යාත්මක ධනේශ්වර ආර්ථික විද්‍යාවෙහි මළබෙරය එයින් වැයිණි. එවක් පටන් එය අර හෝ මේ හෝ ප්‍රමේය නිවැරදි ද යන ප්‍රශ්නයක් නොවන මුත් ප්‍රාග්ධනයට ප්‍රයෝජනවත් ද නැතහොත් හානි කර ද, යෝග්‍ය ද අයෝග්‍ය ද, දේශපාලන වශයෙන් අනතුරු දායක ද නැද්ද යන ප්‍රශ්නයක් විය. උපේක්ෂාශීලී විද්‍යාත්මක විමර්ශකයන් වෙනුවට කුලියට ගත් ත්‍යාගලාභී ශූරයෝ ආහ. නිර්ව්‍යාජ විද්‍යාත්මක පර්යේෂණය වෙනුවට නිදහසට කරුණු කියන්නවුන් ගේ නරක හෘදය සාක්ෂිය සහ නපුරු චේතනා පිවිසියේ ය. එතෙකුදු වුව, නිමවුම් කර්මාන්ත හිමියන් වන කොබ්බෙන් සහ බ්‍රයිට් මෙහෙය වූ ධාන්‍ය නීති විරෝධි සංගමය මඟින් වපුරන ලද ආක්‍රමණශීලී පොත් පිංචි පවා විද්‍යාත්මක වැදගත්කමක් නැතත් ඒවා මඟින් ඉඩම් හිමි වංසක්කාර පැළැන්තියට විරුද්ධ ව ගෙන ගිය වාග් සංග්‍රාමය හේතුවෙන් ඉතිහාසමය වැදගත්කමකින් යුක්ත වෙයි. එහෙත් ඉනික්බිතිව ශ්‍රීමත් රොබට් පීල් විසින් අරඹන ලද නිදහස් වෙළෙඳාම පිළිබඳ ව්‍යවස්ථා මඟින් ග්‍රාමීය ආර්ථික විද්‍යාවට මෙම සිය අවසාන දළ තුඩ ද අහිමි කෙරිණි. එංගලන්තයෙහි ද 1848 9 මහාද්වීපික විප්ලවයට ප්‍රතික්‍රියා ඇති විය. කිසියම් විද්‍යාත්මක කීර්ති නාමයක් ශේෂ කරගත් බව කියා සිටියා වූ සහ හුදු විතන්ඩ වාදීන්ට සහ පාලන පංතියෙහි වහල් පුච්චම්කාරයන්ට වැඩි යමෙකු බවට පත් වීමට අපේක්ෂා කරන්නා වූ මිනිස්සු තවදුරටත් නොසලකා හැරිය නොහැකි වූ නිර්ධන පංති අයිතිවාසිකම් සමග ප්‍රාග්ධනයෙහි දේශපාලන ආර්ථික විද්‍යාව සංගතික කිරීමට උත්සාහ දැරූහ. නොගැඹුරු සංකල්පනයක් බිහි වූයේ එහෙයිනි. එහි හොඳම නියෝජිතයා ජෝන් ස්ටුවට් මිල් ය. එය ධනේශ්වර ආර්ථික විද්‍යාව විසින් බංකොලොත්කම ප්‍රකාශ කිරිමකි. ශ්‍රේෂ්ඨ රුසියානු විද්වතෙකු සහ විචාරකයෙකු වන එන්. ෂර්නිෂෙවුස්කි සිය "මිල්ගේ දේශපාලන ආර්ථික විද්‍යාවේ මූලධර්ම "" නමැති කෘතියෙහි එම සිදුවීම් පිරුණු මනසක බුද්ධි ආලෝකයෙන් විවරණය කර තිබේ. එබැවින්, ජර්මනියෙහි ධනපති නිෂ්පාදන ප්‍රකාරය මුදුන්පත් වූයේ ප්‍රංශයෙහි සහ එංගලන්තයෙහි එහි ප්‍රතිඝතික ස්වභාවය බිහිසුණු පංති ගැටුම් මඟින් පෙන්වා දීමෙන් අනතුරුවය. තවද මේ අතර ජර්මන් නිර්ධන පංතිය ජර්මන් ධනේශ්වර පංතියට වඩා පැහැදිලි පංති විඥානයක් ලබා සිටියේ ය. මෙසේ අවසානයේදී දේශපාලන ආර්ථිකය පිළිබඳ විද්‍යාවක් ජර්මනියෙහි බිහි විය හැකි මොහොතෙහි ම යථාර්ථය වූයේ යළිත් වරක් එය අභව්‍ය වීමය. මෙම තත්ත්වය යටතේ එහි මහාචාර්යවරු කාණ්ඩ දෙකකට බෙදුනාහ. සිහි කල්පනාවෙන් යුත් ප්‍රායෝගික ව්‍යාපාරික ජනයාගෙන් සමන්විත එක් කාණ්ඩයක් ග්‍රාමීය ආර්ථික විද්‍යාවෙහි නිදහසට කරුණු කියූවන් අතුරින් ඉතාමත් ම තලස්ථ සහ එබැවින් ඉතාමත් ම සෑහෙන නියෝජිතයා වූ බස්ටියට් ගේ ධජය යටතට රොක් වූහ. තම විද්‍යාවෙහි මහාචාර්ය ගරුත්වය පිළිබඳ සාඩම්බරයෙන් පසු වූ අනෙක් කාණ්ඩය සමාදාන කළ නොහැකි දේ සමාදාන කිරීමට ජෝන් ස්ටුවට් මිල් දැරූ ප්‍රයත්නයෙහි දී ඔහු අනු ගියහ. ධනේශ්වර ආර්ථික විද්‍යාවෙහි සම්භාව්‍ය සමයේදී මෙන්ම එහි පරිහානි සමයෙහිදී ද ජර්මානුවෝ හුදු පාසල් ශිෂ්‍යයන්, අනුකරණ කරන්නවුන් සහ අනුයන්නවුන්, මහා විදේශීය ව්‍යාපාරය වෙනුවෙන් සේවය කරන සුළු සිල්ලර වෙළෙන්ඳන් සහ පදික වෙළෙන්ඳන් වශයෙන් රැඳුනාහ. එබැවින් ජර්මන් සමාජයෙහි සුවිශේෂ ඉතිහාසමය සංවර්ධනය හේතුවෙන් ධනේශ්වර ආර්ථික විද්‍යාවෙහි මුල් කෘති පහළ වීමට සහමුලින්ම තහංචි වැටේ. එහෙත් එම ආර්ථික විද්‍යා විවේචනයට එබඳු තහංචි වැටෙන්නේ නැත. එබඳු විවේචන යම් පංතියක් නියෝජනය කරන තාක් දුරට, එයට නියෝජනය කළ හැකි වන්නේ ධනේෂ්වර නිෂ්පාදන ප්‍රකාරය පෙරළා දැමීම සහ සියලු පංති අවසාන වරට අහෝසි කිරීම ඉතිහාසයෙහි සිය වෘත්තීය කරගත් පංතිය, එනම් නිර්ධන පංතිය පමණකි. ම විසින් ඉහත දී පළ කළ කෘති සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි වූ පරිද්දෙන් ම නිහඬතාවයෙන් Das Kapital මරා දැමීමට ජර්මන් ධනේශ්වර පංතියේ වියත් සහ අවියත් ප්‍රකාශකරුවෝ මුල දී තැත් කළහ. එසමයෙහි පැවති තත්ත්වයට එම උපක්‍රම තව දුරටත් උචිත නොවන බව දැන ගත් විගස ම ඔවුහු මගේ පොත විවේචනය කිරීමේ මුවාවෙන් "ධනේෂ්වර මනස නිසල කිරීම සඳහා වට්ටෝරු "" ලියූහ. එහෙත් කම්කරු පුවත්පත් තුළ තමන්ට වඩා ප්‍රබල ප්‍රතිවාදීන් සිටින බව ඔවුහු දුටුහ. (නිදසුනක් වශයෙන් Volkstaat හි පළ කළ යෝසොප් ඩීට්සිගෙන් ගේ ලිපි දැක්විය හැකිය.) එම ප්‍රතිවාදීන්ට තවමත් (අද දක්වා ම) ඔවුන් පිළිතුරු දී නැත'3. Das Kapital හි විශිෂ්ට රුසියානු පරිවර්තනයක් 1872 වසන්තයෙහි දී එළි දකිනු ලැබිණි. පිටපත් 3000 කින් සමන්විත වූ එම සංස්කරණය දැනට ම විකිණී හමාර තරම් ය. 1871 තරම් ඉහත දී ""ඩේවිට් රිකාඩෝ ගේ වටිනාකම සහ ප්‍රාග්ධනය පිළිබඳ න්‍යාය "" නමැති සිය කෘතියෙහි දී කිව් විශ්ව විද්‍යාලයෙහි ආර්ථික විද්‍යා මහාචාර්ය එන්. සීබර් මගේ න්‍යාය ගැන සඳහන් කරමින් මූල ධර්ම වශයෙන් ගත් කල එය ස්මිත් ගේ සහ රිකාඩෝ ගේ ඉගැන්වීම්හි අනිවාර්ය අනුගාමී ඵලයක් බව කීය. එම විශිෂ්ට කෘතිය කියැවීමෙහි දී බටහිර යුරෝපීයයන් විශ්මයට පත් කරවන්නේ හුදු න්‍යායයික ස්ථාවරය පිළිබඳව කතුවරයා ගේ සංස්තිථික සහ දැඩි ග්‍රහණය ය. Das Kapital හි උපයෝගී කර ගන්නා ලද විධික්‍රමය වටහා ගෙන ඇත්තේ මඳ වශයෙනි. ඒ පිළිබඳව ඇති කර ගනු ලැබූ එකිනෙකට ප්‍රති විරෝධී විවිධ සංකල්පයන්ගෙන් ඒ බව පෙනෙයි. එක් අතකින්, මා ආර්ථික විද්‍යාව පාරභෞතිකවාදීව සලකන්නේ යැයි ද, අනෙක් අතින් අනාගත සූප - සාප්පු කෑම වට්ටෝරු ( කොම්තේවාදී වට්ටෝරු) ලියනු වෙනුවට යථා කරුණු හුදෙක් විවේචනාත්මක ව විශ්ලේෂණය කිරීමට පමණක් මා සීමා වී ඇතැයි ද ( පුදුමයි ) පැරිසියේ Revue Positivise මට දෝෂාරෝපණය කරයි. පාරභෞතිකවාදය පිළිබඳ චෝදනාවට පිළිතුරු මහාචාර්ය සීබර් ළඟ තිබේ. ''" යථා න්‍යාය පිළිබඳ සලකා බලන තාක් මාක්ස් ගේ විධි ක්‍රමය මුළු මහත් ඉංග්‍රීසි ගුරු කුලයෙහි නිගාමී විධික්‍රමය ය. එම ගුරු කුලයෙහි නුගුණ සහ සුගුණ හොඳම න්‍යායයික ආර්ථික විද්‍යාඥයන්ට පොදු ය."" මගේ විධික්‍රමය විශ්ලේෂී යැයි සොයා ගන්නා එම්. බ්ලොක් Les Theoriciens du Socualisme en Allemagne Extrait du Journal de Economistes, Juillet et Aout 1872 හි මෙසේ කියයි : Par cet ouvrage M. Marx se classe parmi les espirits analytiques les plus éminents. සත්තෙන් ම ජර්මන් විචාර "" හේගේලියානු දක්ෂ ව්‍යාජෝක්ති "" ගැන කෑ ගසයි. ශාන්ත පීටර්ස්බර්ග්හි European Messenger (1862 මැයි අංකය 427 - 436 පිටු) තනිකර ම Das Kapital හි විධික්‍රමය පිළිබඳව සලකා බලන ලිපියක මගේ විමර්ශන විධික්‍රමය තරයේ තාත්වික වන අතර අවාසනාවට මගේ ඉදිරිපත් කිරිමේ විධික්‍රමය ජර්මානු දයලෙක්තික වන බව දක්වයි. එය කියන්නේ මෙසේ ය : "" බැලූ බැල්මට විනිශ්චයට පදනම් වන්නේ විෂය ඉදිරිපත් කිරීමේ බාහිර ස්වරූපය නම් මාක්ස් පරමාදර්ශී දාර්ශනිකයන් අතුරින් ඉතාමත් ම පරමාදර්ශී වන, හැම විට ම ජර්මානු වන, එනම් වචනයෙහි නරක අර්ථයෙන් ජර්මානුවෙකු වන දාර්ශනිකයා ය. එහෙත් ඇත්ත වශයෙන්ම ඔහු ආර්ථික විවේචනයෙහිලා ඔහුගේ සියලු පූර්වගාමීන්ට වඩා අනන්ත වාරයක් තාත්වික ය. ඔහුට කිසිම අයුරකින් වත් විඥානවාදියෙකු යැයි කිව නොහැකි ය. ඔහුගේම විවේචනයෙන් උදෘත ස්වල්පයක් උපුටා දැක්වීමට වඩා හොඳට මෙම ලේඛකයාට පිළිතුරු දීමට මට නොහැකි ය. රුසියානු මුල් පිටපත ලබා ගත නොහැකි මගේ ඇතැම් පාඨකයන්ට එය රුචිකර වන්නට පිළිවනි. "දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ විවේචනය '', බර්ලින් 1859 නමැති මගේ කෘතියෙහි පෙරවදනෙන් උදෘතයක් ගෙනහැර දැක්වීමෙන් පසු ලේඛකයා මෙසේ සඳහන් කරයි : "" මාක්ස්ට වැදගත් වන එකම දෙය තමන් නිරතව සිටින විමර්ශන වලට අදාළ ප්‍රපංචය පිළිබඳ නියමය පමණකි. නිශ්චිත ඉතිහාස කාල පරිච්ඡේදයක් තුළ ඒවා නිශ්චිත ස්වරූපයක් සහ අන්‍යොන්‍ය සම්බන්ධයක් දරන තාක් එම ප්‍රපංච පාලනය කරන නියමය ඔහුට වැදගත් වනවා පමණක් නො වේ. ඒවායෙහි විචලනය, ඒවායෙහි සංවර්ධනය, එනම් එක් ස්වරූපයක සිට වෙනත් ස්වරූපයකට, එක් සම්බන්ධතා ශ්‍රේණියක සිට තවත් සම්බන්ධතා ශ්‍රේණියකට ඒවායේ පරිවර්තනය පිළිබඳ නියමය ඔහුට ඊටත් වඩා වැදගත් ය. මෙම නියමය අනාවරනය කර ගත් පසු සමාජ ජීවිතයෙහි එමඟින් ජනිත කරවන ඵල ඔහු සවිස්තර ව පරීක්ෂා කරයි. අනුගාමීව මාක්ස් වෙහෙසෙන්නේ එක් දෙයකට පමණි. එනම්, සමාජ තත්ත්වයන්හි අනුගාමී නියත පටිපාටිවල අනිවාර්යතාව දැඩි විද්‍යාත්මක ව පර්යේෂණ මඟින් පෙන්වීම සහ මූලාරම්භක ලක්ෂ්‍ය ලෙසට තමන්ට උපකාරි වන කරුණු හැකි තාක් අපක්ෂපාතීව තහවුරු කිරිමටය. දේවල් පිළිබඳ වර්තමාන පටිපාටියේ අනිවාර්යතාව මෙන්ම පළමු වැන්න අනිවාර්යයෙන්ම ගමන් කළ යුතු වෙනත් පටිපාටියක අනිවාර්යතාව ද එක්වර ම ඔහු සාධනය කරන්නේ නම් මේ සඳහා එය හොඳටම ප්‍රමාණවත්ය. මිනිසුන් එය විශ්වාස කළත් නැතත්, ඔවුන් ඒ පිළිබඳ ව සවිඥානක හෝ අවිඥානක හෝ වුවත් මෙය එක සේ ම පවතී. මාක්ස් සමාජ චලනය සලකන්නේ මානව අභිලාෂයන්, විඥානයෙන් සහ බුද්ධියෙන් ස්වාධීන වු පමණක් නොව අනෙක් අතට ඊට ඉඳුරා පටහැනි ලෙස එම අභිලාෂය, විඥානය සහ බුද්ධිය විනිශ්චය කරන නියම මගින් පාලනය වන ස්වාභාවික ඉතිහාස ක්‍රියාවලිය ලෙස ය. ශිෂ්ටාචාරයෙහි ඉතිහාසයෙහි සවිඥානක අංගය ඉටු කරන්නේ ඒ සා අප්‍රධාන කොටසක් නම් ශිෂ්ටාචාරය විෂය කොට ගත් විවේචනාත්මක විමර්ශණයකට විඥානයේ කිසිදු ස්වරූපයක් හෝ ඵලයක් හෝ පාදක කරගත නොහැකි බව ඉබේම පැහැදිලි වෙයි. එයින් කියවෙන්නේ අදහසට නොව ද්‍රව්‍යමය ප්‍රපංචයට පමණක් ආරම්භක ලක්ෂ්‍ය ලෙස සේවා කළ හැකි බවය. කිසියම් කරුණක් අදහස් සමග නොව වෙනත් කරුණක් සමග සංඝට්ඨනය කිරීමට සහ සංසන්දනය කිරීමට පමණක් එබඳු විමර්ශන සීමා වනු ඇත. මෙම විමර්ශණය සඳහා වැදගත් වන එකම දෙය කරුණු දෙකම ම හැකි තරම් නිරවද්‍ය ව විමර්ශණය කිරීම සහ එකිනෙකට සාපේක්ෂ ව ගත් කල ඒවා සැබැවින් ම පරිණාමයක විවිධ අවස්ථා වීමය. එහෙත් සියල්ලට ම වඩා අතිශයින් වැදගත් වන්නේ එබඳු පරිණාමයක විවිධ අවධි ඉදිරිපත් වන අනුගාමීත්ව ශ්‍රේණි, අනුපිළිවෙළ සහ බැඳී ශ්‍රේණි පිළිබඳ දැඩි විශ්ලේෂණයයි. එහෙත් වර්තමානයට යෙදුව ද, අතීතයට යෙදුව ද ආර්ථික ජීවිතයෙහි සාමාන්‍ය නියම එකම යැයි කෙනෙකුට කියන්නට පිළිවනි. මාක්ස් මෙය සෘජුවම ප්‍රතික්ෂේප කරයි. ඔහුට අනුව එබඳු අමුර්ත නියම නො පවතී. ඊට පටහැනි පරිදි, ඔහුගේ මතයට අනුව සෑම ඉතිහාස කාල පරිච්ඡේදයකටම ස්වකීය වූ නියම තිබේ. සමාජය සිය සංවර්ධනයෙහි දී ඇති කාල පරිච්ඡේදයක් ගෙවා නිම කරන විගස ම, දී ඇති එක් අවධියක සිට දී ඇති වෙනත් අවධියකට ගමන් ගන්නා විගස ම, එය වෙනස් නියමයන්ට ගොදුරු වීම ඇරැඹෙයි. එක් වචනයකින් කිවහොත්, ජීව විද්‍යාවෙහි වෙනත් අංශවල පරිණාමයෙහි ඉතිහාසයට සාදෘෂ්‍ය ප්‍රපංචයක් ආර්ථික ජීවිතය මඟින් අපට සපයනු ලබයි. ආර්ථික නියම භෞතික විද්‍යාවෙහි සහ රසායනික විද්‍යාවෙහි නියම වලට සමාන කිරීමෙහිදී පැරණි ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික විද්‍යාවෙහි නියමවල ස්වභාවය සාවද්‍ය ලෙස වටහා ගත්හ. ශාක සත්ත්වයන් මෙන්ම සමාජ ජීවීන්ද එකිනෙක මූලිකවම වෙනස් වන බව ප්‍රපංච වඩාත් පරිපූර්ණව විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. නැතහොත් සමස්ථයක් වශයෙන් ජීවීන් තුළ අඩංගු ව්‍යුහයෙහි වෙනස්කම් අනුව, ඒවායෙහි ප්‍රත්‍යෙක ඉන්ද්‍රියන්හි වෙනස්කම් අනුව, එම ඉන්ද්‍රීය ක්‍රියාත්මක වන විවිධ තත්ත්ව අනුව ආදී වශයෙන් එකම ප්‍රපංචය විවිධ නියමයන්හි පාලනයට නතු වෙයි. නිදසුනක් වශයෙන් ජනගහණ නියමය සෑම කලකම සහ සෑම තැනකම එකක් ම යැයි යන අදහස මාක්ස් බැහැර කරයි. ඊට ඉඳුරා පටහැනි ව ඔහු කියා සිටින්නේ සෑම සංවර්ධන අවධියකට ම ස්වකීය ම වූ ජනගහණ නියමයක් තිබෙන බව ය. නිෂ්පාදන ශක්තියෙහි සංවර්ධනයෙහි වෙනස්වන පරිමාණ අනුව සමාජ තත්ත්ව සහ ඒවා පාලනය වන නියමය ද වෙනස් වෙයි. ප්‍රාග්ධනයෙහි ආධිපත්‍යයෙන් පිහිටුවන ලද ආර්ථික ක්‍රමය මෙම දෘෂ්ටිකෝණයට අනුව නිරීක්ෂණය කිරීමෙහි සහ පැහැදිලි කිරීමෙහි කටයුත්ත මාක්ස් තමන් වෙත පවරා ගත් අතර ඔහු කරන්නේ ආර්ථික ජීවිතයෙහි සෑම නිරවද්‍ය විමර්ශණයකට ම තිබිය යුතු අරමුණ දැඩි විද්‍යාත්මක ආකාරයෙන් සම්පාදනය කිරීම පමණකි. එබඳු විමර්ශණයක විද්‍යාත්මක වටිනාකම රැඳෙන්නේ දී ඇති සමාජ ජීවියෙකු ගේ උපත, පැවැත්ම, සංවර්ධනය හා අභාවය සහ වඩා උසස් වෙනත් ජීවියෙකුගෙන් එය ආදේශ කිරිම හසුරුවන විශේෂ නියම අනාවරණය කිරීමෙහි ය."" ලේඛකයා ඇත්තට ම මගේ විධික්‍රමය ලෙසට ගත් දේ ඉතා සිත් කාවදින ලෙසත් ( ම විසින් එය ව්‍යවහාරයට ගැනීමට අදාළ වන තාක්) ත්‍යාගශීලී ලෙසත් චිත්‍රයට නඟන අතර ඔහු එසේ චිත්‍රයට නගන්නේ දයලෙක්තික විධික්‍රමය හැර වෙන කුමක්ද? සත්තකින්ම ඉදිරිපත් කිරීමේ විධි ක්‍රමය විමර්ශණයෙහි විධික්‍රමයට වඩා ස්වරූපය අතින් වෙනස් විය යුතු ය. කරුණු සවිස්තර ව සැලකීම, එහි විවිධ සංවර්ධන ස්වරූප විශ්ලේෂනය කිරීම, ඒවායෙහි අභ්‍යන්තර සම්බන්ධතා සෙවීම අපරෝක්ත විධි ක්‍රමයට අයත් ය. යථා චලනය සෑහෙන තරමින් විස්තර කළ හැකි වන්නේ මෙම කටයුතු නිම කළ පසු පමණකි. මෙය සාර්ථක ව ඉටු කරන ලද්දේ නම්, කැටපතක පරිදි විෂය කරුණු වල ජීවය පරමාදර්ශී ව පරාවර්තනය වන්නේ නම්, අප ඉදිරියෙහි හුදු ප්‍රාගනුභූත නිර්මාණයක් පැවතියාක් සේ පෙනෙන්නට පිළිවනි. මගේ දයලෙක්තික විධික්‍රමය හෙගේලියානු විධික්‍රමයෙන් වෙනස් වනවා පමණක් නොව එහි සෘජු විරෝධය ද වෙයි. හෙගල්ට මානව මොළයෙහි ජීව ක්‍රියාවලිය, එනම්, චින්තන ක්‍රියාවලිය සැබෑ ලෝකයෙහි විශ්වකර්මයා ය. ඔහු ' අදහස ” යන නාමය යටතේ චින්තන ක්‍රියාවලිය ස්වාධීන වස්තුවක් බවට පවා පත් කරයි. ඔහුට සැබෑ ලෝකය " අදහසෙහි " බාහිර, ප්‍රපංචමය ස්වරූපය පමණි. ඊට ඉඳුරා පටහැණි පරිදි මට පරමාදර්ශය යනු අන් කිසිවක් නොව මානව මනස තුළ පරාවර්තනය වූ, චින්තන ස්වරූප බවට පරිවර්තනය වූ ද්‍රව්‍යමය ලෝකය මය. හෙගේලියානු දයලෙක්තිකයෙහි ශුඪකාරක පාර්ශවය ම විසින් විවේචනය කරන ලද්දේ දැනට වසර තිහකට ආසන්න කාලයකට ඉහත දී, එවකටත් එය විලාසිතාවක් ව තිබිය දී ය. එහෙත් මා Das Kapital හි පළමු වැනි වෙළුමෙහි කටයුතු වල නිරත වූ සමයෙහි, ලෙසින්ග් ගේ සමයෙහි එඩිතර මොසෙස් මෙන්ඩෙල්සෝන් විසින් ස්පිනෝසාට සැලකූ පරිදී, එනම් "මළ සුනඛයෙකු" ලෙස හෙගල්ට සැලකීම දැන් ශිෂ්ට ජර්මණියේ මැත දොඩන, ඇවිස්සෙන සුළු, අහංකාර, දෙවැනි ගණයේ EAinyiගේ පරම සන්තුෂ්ටිය විය. එබැවින් මම ශ්‍රේෂ්ඨ චින්තකයා ගේ ගෝලයෙකු ලෙස මට ම දිවුරා ගත්තෙමි. තැනින් තැන වටිනාකම පිළිබඳ න්‍යාය දක්වන පරිච්ඡේදයෙහි ඔහුට ම සුවිශේෂ වූ ප්‍රකාශන ප්‍රකාර සමග සමීප ඇසුරක් පෙන්වීමි. හේගල්ගේ අතෙහි දයලෙක්තික විද්‍යාව පෙළෙන ශුඪකරණය හේතුවෙන් විස්තීර්ණව සහ සවිඥානව එහි සාමාන්‍ය ක්‍රියාකාරි ස්වරූපය ඉදිරිපත් කළ පළමුවෙනියා වීමෙන් කිසි කලෙකත් ඔහු ව වැළැක්වෙන්නේ නැත. ඔහු ළඟ එය හිසින් සිට ගත්තකි. ගූඪ කටුව තුළ වන තාර්කනික මදය අනාවරණය කර ගන්නේ නම් එහි නිවැරදි පැත්ත යළි ඉහළට හැරැවිය යුතුය. පවත්නා තත්ත්ව ප්‍රතිරුපණය කොට වර්ණනයට නගන ලද බවක්, පෙනෙන්නට වූ බැවින් ශුඪත්වයට පත් කරන ලද ස්වරූපයෙන් වූ දයලෙක්තික විද්‍යාව ජර්මනියේ විලාසිතාවක් බවට පත් විය. තාර්කණික ස්වරූපයෙන් ගත් කල දයලෙක්තික විද්‍යාව ධනේශ්වර අධිකාරියටත් එහි අති පණ්ඩිත මහාචාර්යවරුන්ටත් නව නින්දාවක් සහ ජුගුප්සාවකි. මන් ද යත් පවත්නා තත්ත්ව වටහා ගැනීමෙහි සහ සක්‍රීයව පිළිගැනීමේ දී එය එම තත්ත්වයෙහි නිෂේධය සහ එහි අනිවාර්ය බිඳීයාම පිළිගන්නා බැවිනි. ඉතිහාසමය වශයෙන් සංවර්ධනය වූ සෑම සමාජ ස්වරූපයක් ම තරල චලනයක පරිද්දෙන් එය විසින් සලකනු ලබන බැවින් සහ එබැවින් ම එහි නිමේෂ ගත පැවැත්ම මෙන් ම එහි සංක්‍රමණික ස්වභාවය ද එය විසින් ගණන් ගන්නා බැවිනි. කිසිවෙකුට බලයෙන් ඒ මත තහවුරු වීමට ඉඩ නොදෙන බැවිනි. හරය වශයෙන් එය විවේචනාත්මක සහ විප්ලවීය වන බැවිනි. ප්‍රායෝගික ධනේශ්වර පාන්තිකයාට ධනපති සමාජයේ චලිතයට ආවේණික ප්‍රතිවිරෝධතා වඩාත් ම තදින් කාවදින්නේ නූතන කර්මාන්තය ගමන් ගන්නා චාරිකා චක්‍රයෙහි වෙනස්වීම්වල දී සහ එහි උච්ච ස්ථාන වන විශ්වීය අර්බුදයෙහි දීය. තවමත් ප්‍රාථමික අවධියක පැවතිය ද එම අර්බුදය නැවතත් ළං වෙයි. එහි ක්ෂේත්‍රයෙහි විශ්වීයත්වයත්, එහි ක්‍රියාවන්හි තියුණු බවත් හේතුවෙන් නව ශුද්ධ ප්‍රසියානු - ජර්මානු අධිරාජ්‍යයෙහි හතු මෙන් මතුවන ලොක්කන් ගේ හිස් තුළට පවා දයලෙක්තික විද්‍යාව කා වද්දනු ඇත. කාල් මාක්ස් 1873 ජනවාරි 24, ලන්ඩන්. සටහන් 1 Geschichtliche Darstellung des Handels, des Gewerbe und des Ackerhaus & co, von Gustav von Gülich 5 vols., Jena 1830-45. 2.Zur Kritik නමැති මගේ කෘතියෙහි 39 වැනි පිටුව බලන්න. 3.ජර්මන් ග්‍රාමීය ආර්ථික විද්‍යාවෙහි කුහක වාචාලයෝ මගේ පොතේ ශෛලිය ගැන කුපිත වූහ. Das Kapital හි සාහිත්‍යයික ඌණතා පිළිබඳ මට තරම් දැඩි හැඟීම් අන් කිසිවෙකුට තිබිය නොහැකි ය. එහෙත් මෙම මහත්වරුන් ගේ සහ ඔවුන්ගේ මහජනයාගේ හිත සුව පිණිස සහ විනෝදය පිණිස එක් ඉංග්‍රීසි සහ එක් රුසියානු දැනුම්දීමක් මේ සම්බන්ධයෙන් මම ගෙනහැර දක්වමි. මගේ අදහස්වලට හැම විට ම හතුරු Saturday Review පුවත්පත පළමු වැනි සංස්කරණය ගැන මෙසේ කීය ''විෂය ඉදිරිපත් කිරීම මඟින් නීරසතම ආර්ථික ප්‍රශ්න වලට එක්තරා සුවිශේෂ චමත්කාරයක් ආරෝපණය කර තිබේ”" "ශාන්ත පීටර්ස්බර්ග් සංග්‍රහය " සිය 1872 අප්‍රේල් 20 වන දින කලාපයෙහි මෙසේ කියයි : "අති විශේෂ කොටස් එකක් දෙකක් හැරෙන්නට විෂය ඉදිරිපත් කිරීමෙහි කැපී පෙනන ලක්ෂණය වන්නේ සාමාන්‍ය පාඨකයා හට වැටහෙන සුළුවීම, පැහැදිලිකම සහ විෂයෙහි විද්‍යාත්මක සංකීර්ණතාවය නොතකා සාමාන්‍ය ජීවයකින් යුක්ත වීම ය. මේ සම්බන්ධයෙන්, කතුවරයා පෘතග්ජනයන්ගේ හිස් පැළෙන තරම් නීරස සහ, අපැහැදිලි බසකින් තම පොත් ලියන ජර්මන් විදවතුන් බහුතරයට කිසි ම අයුරකින් වත් නෑකම් නො පෙන්වයි."

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்