← Back to Articles

දැනුම පිළිබඳව දන්නා දේ හා නොදන්නා දේ

2026-01-21By Marxist University

පෘථිවිය මත බිහි වු විවිධ සත්වයන් අතරින් තමන් ජීවත් වන වටපිටාව, තමන් ජීවත්වන ලෝකය තේරුම් ගැනීමට උත්සාහ කළ හා ඒ සඳහා ක්‍රියාත්මක වූ එකම සත්වයා මිනිසාය. සාමාන්‍ය සතුන්ගෙන් මිනිසා වෙනස් වන ප්‍රධාන ලක්‍ෂණ අතර එකක් වන්නේ ඔහුට තාර්කික බුද්ධියක්, සිතීමේ හැකියාව හෙවත් චින්තනයක් තිබීමය. ඒ නිසාම මිනිසා විඤ්ඤාණය සහිත එකම සත්වයාය. මිනිසාගේ චින්තන ක්‍රියාවලිය සමග අධ්‍යයනයත් අධ්‍යාපනයත් බැඳී පවතිී. මිනිසා නිතරම දැනුමේ පිපාසයෙන් පෙළෙන, දැනුම සොයා යන කෙනෙක් වී තිබේ. එහෙත් මේ ‘දැනුම’ පිළිබඳව, මිනිස් මොළය තුළ දැනුම ගොඩ නැගෙන ආකාරය පිළිබඳව, දැනුම සොයා යන ක්‍රියාවලිය පිළිබඳව, දැනුමේ දයලෙක්තික ක්‍රියාකාරිත්වය පිළිබඳව, මානව චින්තනය පිළිබඳව අප දන්නා දේ මෙන්ම නොදන්නා දේද තිබේ. මේ පිළිබඳව සත්‍යයන් මෙන්ම මිත්‍යාවන්ද තිබේ. එබැවින් මේ පිළිබඳව අවධානය යොමු කිරීමක්, සංවාදයක්, අධ්‍යාපනයක් අවශ්‍ය යයි අපි සිතමු. මිනිසා වර්තමානයේ ජීවත් වන අර්බුදකාරී සමාජය වෙනුවට වඩා හොඳ සමාජයක් ඔහු නිර්මාණය කර ගත යුතුය. ඒ සඳහාද ඔහුට දැනුම තිබිය යුතුය. එසේම ‘දැනුම’ පිළිබඳව දැනුමද මිනිසාට තිබිය යුතුය. දැනුම සමාජය හා චින්තනය පිළිබඳව සංවාදයක් අවශ්‍ය වන්නේ ඒ සඳහාය.

දැනුම කුමක් සඳහාද? මිනිසාගේ දැනුම ආරම්භයේදී සිටම නිෂ්පාදනය හා බැඳී තිබේ. සොබා දහමෙන් සෘජු ලෙසම යැපෙනවා වෙනුවට, සොබා දහමට යටත්ව එහි වහලෙකු ලෙස දිවි ගෙවනවා වෙනුවට, සත්ව වර්ගයා අතරින් මිනිසා සොබාදහමට අභියෝග කළ පළමු සත්වයා විය. ඔහු සිය යැපීමේ මාර්ගයන් නිපදවා ගැනීම ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන් සොබාදහම වෙනස් කිරීමද ඇරඹීය. සොබාදහම තම ජීවන අවශ්‍යතා වෙනුවෙන් සංවර්ධනාත්මකව යොදා ගැනීමේදී, එය සිදු කිරීම සඳහා සොබාදහම වටහා ගැනීම, තේරුම් ගැනීම, එහි මතුපිටින් නොව හරයෙන් තේරුම් ගැනීම අවශ්‍ය විය. ඒ අනුව දැනුමේ අවශ්‍යතාවය මතුවූයේ, නිෂ්පාදනයේ අවශ්‍යතාවයන් සමගය. මානව ඉතිහාසයේ ආදි කාලීනම දැනුම යනු දඩයම සඳහා, පලාවැල නෙලීම සඳහා, නැතිනම් නිපදවීම සඳහා වූ දැනුම බව පැහැදිලිය. එහෙත් කල් යත්ම, නිෂ්පාදනය දියුණුවත්ම, නිෂ්පාදනය විසින් අතිරික්ත ධනය උපදවත්ම අතිරික්ත ධනය පරිභෝජනය කරමින් නිෂ්පාදනයට සම්බන්ධ නොවී සිටීමේ හැකියාව මතුවත්ම මිනිසා දාර්ශනික චින්තනයේ පාර්ශවයටද, නැඹුරු විය. ලෝකයේ පැවැත්ම පිළිබඳව, ඒවායේ හේතු පිළිබඳව කල්පනා කරන්නට විය. එවිට දාර්ශනික චින්තනයක් බිහිවිය. මිනිසා තමා ලබාගත් දැනුම, අත්දැකීමෙන් හා තර්කනයෙන් ලබාගත් දැනුම අන් අයටද, ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග. අධ්‍යාපනයද බිහිවිය. ගෙඩි වර්ග අතරින් ආහාරයට සුදුසු හා නුසුදුසු ගෙඩි වර්ග හඳුනා ගැනීමේ දැනුමේ සිට, සත්තු අතරින් කෑමට සුදුසු සතා හඳුනා ගැනීමේ දැනුමේ සිට, විශ්වය, ග්‍රහතාරකා, අංශු, පරමාණු අවබෝධ කර ගැනීමේ දැනුම දක්වා ‘දැනුම’ වර්ධනය විය.

දන්නා සියල්ල සත්‍යද? මිනිසා සොබා දහම තේරුම් ගැනීමට ගත් උත්සාහය මගින් අත්කර ගත් දැනුම හැම විටම සත්‍ය වීද? නැත. එය එසේ නොවීය. මිනිසාගේ දැනුම තුළ සත්‍ය මෙන්ම අසත්‍යයක්ද විය. ඒ සොබාදහම පවතින්නේ පෙනුම තුළ පමණක් නොවන නිසාය. එයට හරයක්ද තිබෙන නිසාය. සොබාදහමේ දේවල්වල හරය කරා යාමට තරම් තර්කණයද, උපකරණද, මූලික දැනුමද නොවූ විට, මිනිසාගේ පංචේන්ද්‍රියන් මගින් පමණක් කරන වටහා ගැනීම හෙවත් සංජානනය ප්‍රමාණවත් නොවූ විට දැනුම තුළ අසත්‍යයන් ප්‍රකාශයට පත්විය. පෘථිවියේ පැවැත්ම පිළිබඳව එක්තරා කාලයක පිළිගත් මතය වී තිබුණේ, පෘථිවිය පැතලි වස්තුවත් බවත් ඒ වටා හිරු ගමන් කරන බවත්ය. එය පෘථිවි කේන්ද්‍රවාදය ලෙස හැඳින්විය. පෘථිවිය පිළිබඳ මිනිසාගේ දැනුම තුළ පෘතුවි කේන්ද්‍රවාදය පවතින අවධියේ එම දැනුම සත්‍ය නොවීය. පසුව තහවුරු කළ පරිදි පෘථිවිය ගෝලාකාර වස්තුවක් බවත් සූර්යා වටා පෘථිවිය ගමන් කරන බවත් සත්‍යය විය. මේ නිසා මිනිසාගේ දැනුම හැම විටම සත්‍ය නොවන බව අපට පෙනේ. එසේ නම් අප අසත්‍යයෙන් සත්‍ය වෙන්කර හඳුනා ගන්නේ කෙසේද? සත්‍යය යනු කුමක්ද? එය වෙත ළඟාවෙන්නේ කෙසේද? යන පැනයද අප ඉදිරියේ නිතැතින්ම මතු වේ. එයද පැහැදිලි කර ගත යුතුය.

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்