තාක්ෂනික දියුණුව සහ මිනිස් නිදහස.
ඔයා මේක සරලව මෙහෙම හිතන්න. රොබින්සන් කෲසෝ දූපතක තනියම ජීවත් වෙනවා. කන්න, ඉන්න, ජීවත් වෙන්න ඕන දේ ඔහුම හොයාගන්න ඕන. දවසකට අවශ්‍ය දේ සොයාගන්න පැය කිහිපයක් මහන්සි වුණොත්, ඉතිරි කාලය ඔහුට නිදහස්. ඊළඟට ඔහුට අලුත් ක්‍රමයක් හම්බ වුණා කියලා හිතමු. දැන් එයාට එකම පැය කිහිපයෙන් දින දෙකකට අවශ්‍ය දේ හොයාගන්න පුළුවන්. එහෙනම් දින දෙකෙන් එක දවසක් විවේකයි. තවත් දියුණු වෙලා පැයකින් සතියකට අවශ්‍ය දේ නිපදවන්න පුළුවන් වුණොත්, සතියේ ඉතිරි දවස් ටික ඔහුට නිදහස්.
ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධියෙන් බැලුවොත් තාක්ෂණයේ අරමුණ මිනිසාගේ මහන්සිය අඩු කරලා නිදහස වැඩි කරන එක. යන්ත්‍ර, පරිගණක, රොබෝලා, කෘත්‍රිම බුද්ධිය වගේ දේවල් ආවේ අපිට අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් ජීවත් වෙන්නනේ.
නමුත් දැන් පොඩ්ඩක් වටපිට බලන්න. කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකය අතිශයින් දියුණු වුණා. අද එක මිනිහෙක්ට කලින් මිනිස්සු සිය දෙනෙක් කරපු වැඩ කරන්න පුළුවන්. එහෙත් අද මිනිස්සුන්ට පැය 10, 12, 15 වැඩ කරලත් ගෙවල් ණය, බිල්, කෑම, දරුවන්ගේ වියදම් වගේ මූලික දේවල් පවා හරියට පියවගන්න අමාරුයි. එතකොට ප්‍රශ්නයක් එනවා. තාක්ෂණය මෙච්චර දියුණු වෙලා නම් අපි වැඩ අඩුවෙන් කරලා වැඩියෙන් නිදහස් වෙන්න ඕන නේද?
මාක්ස් කියන්නේ මෙතන ප්‍රශ්නය තාක්ෂණයේ නෙවෙයි කියලා. ප්‍රශ්නය තියෙන්නේ සමාජය සංවිධානය වෙලා තියෙන විදිහේ. ඒක තමයි සූරාකෑම.
සරලව කියනවා නම්, කිසිම බඩුවක් මිනිස් මහන්සිය නැතුව හැදෙන්නේ නෑ. යන්ත්‍රයක් තිබුණත් ඒක හදලා තියෙන්නෙත් මිනිස්සු, ක්‍රියාත්මක කරන්නේත් මිනිස්සු, නඩත්තු කරන්නේත් මිනිස්සු. අවසානයේ හැම ධනයකම පදනම මිනිස් ශ්‍රමය.
නමුත් ප්‍රශ්නය මෙතනයි. වැඩ කරන අයම තමන් හදපු දේවල්වල සම්පූර්ණ වටිනාකම ලබන්නේ නෑ. උදාහරණයක් ගමු. සේවකයෙක් දවසකට රුපියල් 20,000ක වටිනාකමක් නිපදවනවා කියලා හිතමු. හැබැයි ඔහුට වැටුප විදිහට ලැබෙන්නේ රුපියල් 5,000ක් විතරයි. ඉතිරි කොටස කාටද යන්නේ? කර්මාන්ත ශාලාවේ අයිතිකරුට, ප්‍රාග්ධන හිමියාට, කොටස් හිමියන්ට. මාක්ස් ඒකට කිව්වේ “අතිරික්ත වටිනාකම” කියලා.
ඒ නිසා වැඩ කරන මිනිස්සු තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න විතරක් නෙවෙයි, අඩුවෙන් වැඩ කරන හෝ කිසිම නිෂ්පාදනයක් නොකරන තවත් පිරිසකගේ සුඛෝපභෝගී ජීවිතත් පවත්වාගෙන යනවා.
ඒක නිසා ලොකු ප්‍රශ්නයක් අහන්න වෙනවා. මිනිස් මහන්සියෙන් තොරව කිසිම දෙයක් නිපදවන්න බැරි නම්, වැඩ නොකරන හෝ අඩුවෙන් වැඩ කරන පිරිස කොහොමද වැඩිම දේවල් භුක්ති විඳින්නේ?
මාක්ස්ගේ පිළිතුර සරලයි. ඔවුන් භුක්ති විඳින්නේ තමන්ගේ ශ්‍රමයේ ප්‍රතිඵල නෙවෙයි; වෙන කෙනෙකුගේ මහන්සියේ අතිරික්ත කොටස.
ඒ කියන්නේ අපි රොබින්සන්ට වඩා අඩු දියුණු නෑ. ඇත්තටම අපි තාක්ෂණයෙන් ගොඩක් ඉදිරියට ගිහින්. නමුත් ඒ දියුණුවේ ප්‍රතිලාභ හැමෝටම සමානව යන්නේ නෑ. තාක්ෂණය අපිව නිදහස් කරන්න තිබුණා. හැබැයි බොහෝ වෙලාවට ඒකෙන් වෙලා තියෙන්නේ වැඩ අඩුවෙන එක වෙනුවට ලාභය වැඩිවීම.
ඒ නිසා ඇත්ත ප්‍රශ්නය “තාක්ෂණය දියුණු වුණාද?” කියන එක නෙවෙයි. ඇත්ත ප්‍රශ්නය “ඒ දියුණුවෙන් කාටද වාසි ලැබෙන්නේ?” කියන එකයි.