කාල් මාක්ස්ගේ "Das Kapital" පළමු වන වෙළුමේ පළමු වන පරිච්ඡේදය පිළිබඳව විවරණයක්!!
මෙම සටහන ලියන්නේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය අධ්‍යයනය කරමින් සිටින මොහොතක මාගේ අධ්‍යයනයට මෙන්ම ඔබගේ අධ්‍යයනයට ද ආධාරක වන පිණිසය. කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනයේ පළමු වෙළුමේ ආරම්භක පරිච්ඡේදයේ ඇතුලත් වනුයේ "වෙළෙඳ භාණ්ඩ" පිළිබඳ විශ්ලේෂණයකි. මාක්ස්ට අනුව ධනේශ්වර නිෂ්පාදන මාදිලිය අවබෝධ කරගැනීමට යම් අයෙක් උත්සහ දරයි නම් ඔහු ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ මූලිකම ඒකකය වන "භාණ්ඩය" හඳුනාගත යුතු බව මාක්ස් පැවසීය. හොදයි!! අප දැන් විවරණය ආරම්භ කරමු.
- භාණ්ඩයක ද්විත්ව ස්වභාවය: ප්‍රයෝජ්‍ය වටිනාකම (Use-Value) සහ හුවමාරු වටිනාකම (Exchange-Value)
පළමු කොටම "භාණ්ඩයක්" යනු මිනිසා සතු යම් වුවමනාවක් අවශ්‍යතාවයක් තෘප්ත කරන දෙයකි. එනම් භාණ්ඩ හා සේවා පරිභෝජනයේදී මිනිසාට ඇතිවන තෘප්තියයි, උපයෝගීතාවයයි නො එසේනම් ප්‍රයෝජනයයි. මේ අනුව මෙම උපයෝගිතාවය මත භාණ්ඩයේ "ප්‍රයෝජ්‍ය වටිනාකම" තීරණය වේ. නිදසුනක් ලෙස ජංගම දුරකථනයක් ගතහොත් එමගින් ඇමතුම් ලබා ගැනීම, අන්තර්ජාලයට පිවිසීම, පින්තූර ලබා ගැනීම ආදිය ජංගම දුරකථනයේ "ප්‍රයෝජ්‍ය වටිනාකමයි". මෙම "ප්‍රයෝජ්‍ය වටිනාකම" අදාළ "භාණ්ඩයේ" භෞතිකමය ගුණයන් හා සම්බන්ධව පවතී. නිදසුනක් ලෙස ඔබට පරිඝනයකයක් මගින් අන්තර්ජාලයට පිවිසිය හැකි වන්නේ පරිඝනකය නිපදවා තිබෙන භෞතික ගුණයන් නිසා ය. එනම් පරිඝනකයේ තාක්ෂණය, අමුද්‍රව්‍ය වැනි දේවල් නිසයි. තවත් නිදසුනක් ගතහොත් ඔබට පුටුවක අසුන් ගත හැකි වන්නේ පුටුවක හැඩය සහ උස වැනි භෞතික ගුණයන් හේතු කොටගෙනය. මෙකී ප්‍රයෝජ්‍ය වටිනාකම ගැන අවබෝධ කල හැකි වන්නේ එය පරිභෝජනය කරන විටදී ය.
ධනවාදී නිෂ්පාදන මාදිලිය තුල ප්‍රයෝජ්‍ය වටිනාකමට අමතරව භාණ්ඩයකට "හුවමාරු වටිනාකමක්" තිබේ. මෙය අපට පෙනෙන්නේ එක් ප්‍රයෝජ්‍ය වටිනාකමක් තවත් ප්‍රයෝජ්‍ය වටිනාකමකට හුවමාරු වන ප්‍රමාණාත්මක සම්බන්ධයක් ලෙසය. උදාහරණයක් ලෙස තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක හුවමාරු වටිනාකම සබන් කැට 5ක හුවමාරු වටිනාකමට සමාන වීම. මෙහිදී අභිරහස වනුයේ තිරිඟු පිටි වල ප්‍රයෝජ්‍ය වටිනාකම හා සබන් කැට වල ප්‍රයෝජ්‍ය වටිනාකම එකිනෙකට අසමාන වීමත් තිරිඟු පිටි වල ප්‍රමාණය සහ සබන් කැට වල ප්‍රමාණය එකිනෙකට අසමාන වීමය. එසේ නම් තිරිඟු පිටි 1KG සහ සබන් කැට 5ක හුවමාරු වටිනාකම සමාන වූයේ කෙසේ ද? තවත් පැහැදිලි කරගැනීමට සහල් කිලෝවක් ඩොලර් 2 ක් නම් සබන් කැට 5ක හුවමාරු මිලත් ඩොලර් 2ක් වූයේ කෙසේ ද? මේ අනුව පැහැදිලි වන්නේ එම භාණ්ඩ දෙක අතර ප්‍රයෝජ්‍ය වටිනාකමත් අසමාන නම්, ප්‍රමාණයන් ද අසමාන නම් හුවමාරු වටිනාකම සමාන වීමට එම භාණ්ඩ දෙක අතර පොදු යමක් සමාන ප්‍රමාණයකින් තිබිය යුතු බවයි.
එම "සමාන දෙය" භාණ්ඩයේ බර හෝ වර්ණය විය නොහැකියි. අප භාණ්ඩයක සියලුම භෞතික ගුණයන් ඉවත දැමුවහොත් ඉතිරි වන එකම ගුණය වන්නේ ඒවා සියලුම දේ මනුෂ්‍ය ශ්‍රමයේ නිෂ්පාදනයන් වීමය. මෙම සමාජ ද්‍රව්‍යයේ "ස්ඵටික" ලෙස අප භාණ්ඩ දෙස බලන විට, ඒවා හුදෙක් වටිනාකම් වේ.
- වටිනාකමේ විශාලත්වය සහ සමාජීය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලය
ශ්‍රමය වටිනාකමේ මූලද්‍රව්‍ය නම් අප එය මැන දක්වන්නේ කෙසේ ද? අප එය මැන දක්වන්නේ ශ්‍රමය වැය කල කාලයෙන් ය (පැය, සති, දවස්). එනමුත් යම් පුද්ගලයෙක්ට ඔහු පුහුණු හෝ නුපුහුණු වේවා දෙයක් නිෂ්පාදනය කිරීමට ගත වූ සැබෑ කාලයෙන්ම පමණක් වටිනාකම නිර්ණය නොවේ. නිදසුනක් ලෙස ටේලර් වරයෙකුට අනෙක් අය පැය 2 කින් මසන කමිසයක් මසන්නට පැය 10ක් ගත වූවා යැයි සිතන්න. මේ අනුව ඔහුට අනෙක් අයට වඩා පැය 8ක කාලයකුත් අදාළ කමිසය මසන්නට වැය වුන නමුත් සමාජයේ කමිසයක් මැසීමට යන සාමාන්‍ය කාලය (Average Time) වන්නේ පැය 2යි නම් අදාළ ටේලර් වරයාගේ වැඩිපුර පැය 8 නාස්ති වූ ශ්‍රමය ලෙස බැහැර කරයි.
මේ අනුව වටිනාකම නීර්ණය වන්නේ සමාජිය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලය මතය. එනම් අදාළ කාල පරිච්ඡේදයකදී අදාල ආර්ථිකයේ පවත්නා සාමාන්‍ය තාක්ෂණය යටතේ, පවත්නා සාමාන්‍ය ඵලදායිතාවය යටතේ පවත්නා සාමාන්‍ය පුහුණුව යටතේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට ගතවන සාමාන්‍ය කාලය මතය. උදාහරණයක් ලෙස නූතනයේ පවතින ගාමන්ට් ෆැක්ටරි තුල කමිසයක් මැසීමට යන සාමාන්‍ය කාලය විනාඩි 30 ක් වන්නේ නම් එම විනාඩි 30 ක සාමාන්‍ය කාලය හුවමාරු වටිනාකම නීර්ණය වීම කෙරෙහි බලපානු ඇත. තවත් උදාහරණයක් ලෙස කාර්මික විප්ලවයත් සමඟ ආ යන්ත්‍ර සූත්‍ර හේතු කොටගෙන රෙදි විවීම කලින්ටත් වඩා සිතා ගැනීමටත් නොහැකි තරම් වේගවත් විය. මේ නිසා රෙදි වල මිල ද අඩු විය. යන්ත්‍ර සූත්‍ර වලට පෙර රෙදි යාරයක් විවීමට දිනක් පමණ ගත වූවා නම් දැන් ගත වන්නේ පැයක් පමණ යැයි අප උපකල්පනය කරමු. මේ අනුව ආර්ථිකයේ යන්ත්‍ර සූත්‍ර වලට පෙර සාමාන්‍ය කාලය වී ඇත්තේ දිනකි. නමුත් යන්ත්‍ර සූත්‍ර වල පැමිණීම සමඟ දැන් සාමාන්‍ය කාලය වී ඇත්තේ පැයකි. එනමුත් පැයක සාමාන්‍ය කාලයක් පවතින විටදී පවා ආර්ථිකයේ සැලකිය යුතු යන්ත්‍ර සූත්‍ර නොමැති පැරණි ක්‍රමයට රෙදි වියන නිෂ්පාදකයන් විය. ඔවුන්ට රෙදි යාරයක් විවීමට දිනක් ගත වේ. භාණ්ඩයක හුවමාරු වටිනාකම තීරණය වන්නේ සමාජීය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලය මත නිසා එම පැරණි නිෂ්පාදකයන්ගේ පැය 23 නාස්ති වූ ශ්‍රමය වේ. අදාළ රෙදි යාරය විවීමට දිනක් ගත වූවත් දැන් සාමාන්‍ය තත්වය යටතේ එහි හුවමාරු වටිනාකම නීර්ණය වන්නේ සාමාන්‍ය පැයක කාලය සැලකිල්ලට ගෙනය.
ශ්‍රමයේ ඵලදායිතාවය වැඩිවන විට, භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වූ ශ්‍රම කාලය අඩු වේ. ඒ අනුව වටිනාකම ද පහල යයි. මේ අනුව වටිනාකම සහ ශ්‍රම ප්‍රමාණය අතර සබඳතාවය අනුලෝම නම් වටිනාකම සහ ඵලදායිතාවය අතර සබඳතාවය ප්‍රතිලෝම වේ.
- ශ්‍රමයේ ද්විත්ව ස්වභාවය
මාක්ස් ගෙන හැර දක්වන මෙම අදහස දේශපාලන ආර්ථික විද්‍යාව අවබෝධ කරගැනීමට අවශ්‍ය කේන්ද්‍රීයම අදහසකි. එනම් ශ්‍රමයේ ද්විත්ව ස්වභාවයක් ඇත.
සංයුක්ත ශ්‍රමය: එනම් සුවිශේෂී ප්‍රයෝජ්‍ය වටිනාකමක් නිෂ්පාදනය කරන සුවිශේෂී ශ්‍රම ක්‍රියාවලිය සංයුක්ත ශ්‍රමයයි. නිදසුනක් ලෙස ටේලර් වරයාගේ සුවිශේෂී ශ්‍රමය වන්නේ ඇඳුම් නැමති සුවිශේෂී ප්‍රයෝජ්‍ය වටිනාකම නිෂ්පාදනය කිරීමයි. බේකර්වරයෙක්ගේ සුවිශේෂී ශ්‍රමය වන්නේ පාන් අයිතම නැමති සුවිශේෂී ප්‍රයෝජ්‍ය වටිනාකම නිෂ්පාදනය කිරීමයි.
වියුක්ත ශ්‍රමය: මොහොතකට යම් ශ්‍රමයක් ඉටු වන සුවිශේෂී ආකාරය මඟහැර ඒ දෙස බලන විට පෙනෙන්නේ එය සරලවම මිනිස් මොළයේ, ස්නායු පද්ධතියේ, සහ මාංශ පේශී වල වැය වීමක් ලෙසය. නිදසුනක් ලෙස ටේලර්වරයා ඇඳුම් මැසීම, පතල් කරුවා පතල් හැරීම, පිරිසිදු කරන්නා පිරිසිදු කිරීම යනාදී ලෙස විවිධ සුවිශේෂී ශ්‍රමයන් පැවතියත් ඒවා වෙනස් වෙනස් ආකාරයන්ට සිදු කරනු ලැබුවත් ඒවා සරලවම අදාළ මිනිසුන්ගේ මොළයේ, කාලයේ, මාංශ පේශී වල වැය වීමකි. මෙම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නොවන "වියුක්ත මිනිස් ශ්‍රමය" මඟින් හුවමාරු වටිනාකම නීර්ණය වේ. අප අඳින කෝට් එකක් සහ තිරිඟු පිටි ප්‍රයෝජ්‍ය වටිනාකම් දෙකක් වුවත් ඒ දෙක තුලම සමාජීය වශයෙන් අවශ්‍ය ශ්‍රම කාලය අන්තර්ගත වේ.
- වටිනාකමේ ස්වරූපය: භාණ්ඩ හුවමාරුවේ සිට මුදල් දක්වා
මාක්ස් පවසන ආකාරයට වටිනාකම යනු "හුදෙක් සමාජ යථාර්ථයකි" ඔබට යම් භාණ්ඩයක භෞතික ශරීරය තුල වටිනාකමේ පරමාණුවක් වත් සොයාගත නොහැක. මන්ද යත් එය සමාජීයයි. නිදසුනක් ලෙස ඔබට කෙසෙල් ගෙඩියක සුවද විඳිය හැක, එය ස්පර්ශ කල හැක, එහි ලස්සන දැකගත හැකිය, එහි රසය විඳිය හැකිය. එනමුත් ඔබට කෙසෙල් ගෙඩියේ හුවමාරු වටිනාකම නම් එසේ ස්පර්ශ කළ නොහැක. අදාළ හුවමාරු වටිනාකම ප්‍රකාශ වන්නේ භාණ්ඩයක් තවත් භාණ්ඩයක් සමඟ සම්බන්ධ වූ හෝ සංසන්දනය වූ විට පමණි. නිදසුනක් ලෙස අඹ ගෙඩියක් එහි හුදකලා ස්වරූපයෙන් එහි හුවමාරු වටිනාකම ප්‍රකාශ නොවේ නමුත් අදාල අඹ ගෙඩිය විශාල භාණ්ඩ තොගයක් ඇති වෙළෙඳපොළට ගෙන ගියහොත් එම අඹ ගෙඩිය තම වටිනාකම ප්‍රකාශ කරයි අනෙකුත් භාණ්ඩ වලට සාපේක්ෂව.
සාපේක්ෂ ආකෘතිය
"ලිනන් රෙදි යාර 20 = කෝට් 1" යන සමීකරණයේදී ලිනන් රෙදි යාර 20 තම වටිනාකම ප්‍රකාශ කරනුයේ කෝට් 1ට සාපේක්ෂවය.
තුල්‍ය ආකෘතිය
මෙහිදී කබාය තුල්‍යක් ලෙස කටයුතු කරයි. එය කැඩපතක් ලෙස කටයුතු කරයි. එනම් මෙහිදී කබාය තම භෞතික ශරීරය මඟින් ලිනන් රෙදි යාර 20 හි "වටිනාකම" නියෝජනය කරයි.
මෙම සම්බන්ධතාවය එහි "ප්‍රාථමික ආකෘතියෙන්" (එනම් යම් භාණ්ඩයක් තවත් භාණ්ඩයකට සමාන වීම) "සාමාන්‍ය ආකෘතිය" (සියලු භාණ්ඩ = රෙදි යාර 20 නො එසේනම් සියලුම භාණ්ඩ පොදු භාණ්ඩයකට හුවමාරු වීම) දක්වා ද, අවසාන වශයෙන් "විශ්වීය තුල්‍යක්" යන සමාජ භූමිකාව රත්තරන්, සිල්වර්, වැනි එක භාණ්ඩයක ඒකාධිකාරයක් වන "මුදල්-ආකෘතිය" දක්වා පැමිනේ.
හොදයි සමහර විට ඉහත දක්වා ඇති ආකාරයට ඔබට වටිනාකම් ස්වරූප තේරුම් නොයන්නේ නම් එය මෙසේ තේරුම් ගැනීම වරදක් නොවන බව මම සිතමි. අප දන්නවා ඕනෑම භාණ්ඩයක වටිනාකම ප්‍රකාශ වනුයේ එම භාණ්ඩය තවත් භාණ්ඩයක් සමඟ හුවමාරු වන විට බව. මේ අනුව මුල් කාලයේ බාටර් ක්‍රමය හෙවත් භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ සිදු කරනු ලැබුවේ යම් භාණ්ඩයක් තවත් භාණ්ඩයකට හුවමාරු කරගැනීමයි. කාලයක් යත්ම එය එක් භාණ්ඩයක් තවත් භාණ්ඩයකට හුවමාරු වන ස්වරූපය වෙනස් වෙලා රත්තරන් වගේ එක පොදු භාණ්ඩයක් සඳහා භාණ්ඩ හුවමාරු කරන්න මිනිස්සු පුරුදු වෙනවා. කාලයත් සමඟ මෙය මුදල් දක්වා වර්ධනය විය.
- භාණ්ඩ අධිවන්දනාව
ඇයි අපට භාණ්ඩයක් "අභිරහස්" දෙයක් ලෙස පෙනෙන්නේ?, නිෂ්පාදකයන් ස්වාධීනව වැඩ කරන සමාජයකදී ඔවුන් අතර සමාජ සබඳතාවයක් ඇති වන මොහොත වන්නේ "හුවමාරු" අවස්ථාවයි. එනම් නිදසුනක් ලෙස ලොරි පදවන්නෙකු, මුදල් අයකැමියෙකු, තේ සාදන්නෙකු, සහ පාරිභෝගිකයෙකු ඔවුනොවුන්ව පුද්ගලිකව නොදන්නවා වුවත් "හුවමාරු ක්‍රියාවලිය" තුලදී එනම් මිලදී ගැනීම සහ විකිණීමේදී ඔවුන්ගේ ශ්‍රමය අතර සබඳතාවයක් ඇති වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ පෞද්ගලික ශ්‍රමය අතර සමාජ සම්බන්ධතා මිනිසුන් අතර සබඳතා ලෙස නොව, දේවල් අතර සමාජ සම්බන්ධතා ලෙස පෙනේ.
මෙය වෙළෙඳ භාණ්ඩ අධිවන්දනයයි. වටිනාකම නිශ්චිත සමාජ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වුවත් අප සිතන්නේ එය භාණ්ඩයක ස්වභාවිකවම අන්තර්ගත වන යමක් බවයි. මෙම "අභිරහස" ඉක්මවීමට නම් අප වටිනාකම දෙස බැලිය යුත්තේ මුළු මිනිස් ශ්‍රමයේ කොපමණ ප්‍රමාණයක් අදාළ භාණ්ඩය තුල අන්තර්ගත වේද යන්න මතය.
පලමු පරිච්ඡේදයේ සටහන මෙසේ නිමා කරමි. "ප්‍රාග්ධනය" යනු ඉතා සංකීර්ණ කෘතියකි. එය අධ්‍යයනය කිරීම පවා ඉතාම සංකීර්ණ කටයුත්තකි. මෙම පළමු පරිච්ඡේදය පවා තේරුම් ගැනීමට මට සති දෙක තුනක් පමණ ගත වුනා. මම කිසිසේත්ම ප්‍රාග්ධනයේ විශේෂඥ්ඥයෙක් නොවේ. මම ද ප්‍රාග්ධනය කියවීමට ආරම්භ වූවා පමණි. දැනට පවතින කාලයේ හිඟය හේතුවෙන් එය මන්දගාමී අධ්‍යයනයක් බවද කිව යුතුය. තව මෙම සටහන තුල බොහෝ වැරදි දෝෂ ද තිබිය හැක.
සමහර සංකල්ප කෙතරම් කෙටි කරන්නට වෙර දැරුවත්, කෙතරම් සරල කරන්නට වෙර දැරුවත් එය සමහර සංකල්ප වල සාර්ථක නොවුණි.මේ අනුව මෙම සටහන මෙසේ නිමා කරමි.