← Back to Articles

වටිනාකමෙහි හෙවත් හුවමාරු වටිනාකමෙහි ස්වරූපය

2026-01-21By Karl Marx

C. වටිනාකමෙහි සාමාන්‍ය ස්වරූපය

1.වටිනාකම් ස්වරූපයෙහි වෙනස් වූ ස්වභාවය

දැන් සියලු හුවමාරු භාණ්ඩ සිය වටිනාම (1) තනි හුවමාරු භාණ්ඩයක් තුළ බැවින් ප්‍රාථමික ස්වරූපයකින් ද ( 2) එකම එක හුවමරු භාණ්ඩය තුළ බැවින් ඒකත්වය සහිත ව ද ප්‍රකාශ කරයි. මෙම වටිනාකම් ස්වරූපය ප්‍රාථමික ය. හැමටම එක ය. එබැවින් සාමාන්‍ය ය.

A සහ B ස්වරූප උචිත වූයේ හුවමාරු භාණ්ඩයක වටිනාකම එහි භාවිත වටිනාකමෙන් හෙවත් ද්‍රව්‍යජ ස්වරූපයෙන් විසද වූ යම් දෙයක් ලෙස ප්‍රකාශ කිරීමට පමණකි.

A නැමැති පළමු වැනි ස්වරූපය කබා 1= රෙදි යා 20, තේ රාත්තල් 10 = යකඩ ටොන් 1/2 වැනි සමීකරණ සපයයි. කබායෙහි වටිනාකම රෙදිවලටද තේවල වටිනාකම යකඩවලට ද සම කරනු ලැබේ. එහෙත් රෙදි වලට සහ යළිත් යකඩවලට සම කරනු ලැබීම රෙදි සහ යකඩ මෙන් ම එකිනෙක වෙනස් ව පැවතීමකි. අහඹුවෙන් සහ ඉඳහිට සිදු වන හුවමාරු මඟින් ශ්‍රමයෙහි නිෂ්පාදිත හුවමාරු භාණ්ඩ බවට පත් කෙරෙන මුල් ආරම්භයෙහි දී පමණක් මෙම ස්වරූපය ව්‍යවහාරික ව හට ගන්නා බව පැහැදිලි ය.

B නැමැති දෙවැනි ස්වරූපය පළමු වැන්නට වඩා ප්‍රමාණවත් අයුරින් හුවමාරු භාණ්ඩයක වටිනාකම එහි භාවිත වටිනාකමෙන් විසද කරයි. මන්ද යත්, එහීදී කබායෙහි වටිනාකම සියලු භව්‍ය හැඩරුව යටතේ කබායෙහි දේහමය ස්වරූපයට අසම ව තබන බැවිණි. රෙදිවලට, යකඩ වලට, තේවලට, කෙටියෙන් කිව හොත් එය ම වන කබායට හැර අන් සියලු දෙයට එය සම කෙරෙයි. අනෙක් අතට, සියල්ලට ම පොදු වටිනාකම පිළිබඳ කිසිදු සාමාන්‍ය ප්‍රකාශනයක් සෘජුවම බැහැර කෙරෙයි. මන්ද යත්, එක් එක් හුවමාරු භාණ්ඩයෙහි වටිනාකම් සමීකරණය තුළ සෙසු සියලු හුවමාරු භාණ්ඩ දැන් තුල්‍ය ස්වරූපයෙන් පමණක් පහළ වන බැවිනි. ගවයන් වැනි ශ්‍රමයෙහි විශේෂ නිෂ්පාදිතයක් තව දුරටත් අපවාදයක් ලෙස නොව පුරුද්දක් වශයෙන් විවිධ වෙනත් හුවමාරු භාණ්ඩ සඳහා හුවමාරු කර ගැනීමට පටන් ගත් විගසම ප්‍රසාරිත වටිනාකම් ස්වරූපය පළමු වැනි වරට සැබැවින් ම බිහි වෙයි.

තුන් වැනි සහ අවසාන වශයෙන් සංවර්ධනය වූ ස්වරූපය ඒ අරමුණින් ම වෙන් කරන ලද හුවමාරු භාණ්ඩයක් මඟින්, එනම් රෙදි මඟින්, මුළු මහත් හුවමාරු භාණ්ඩ ලෝකයෙහි ම වටිනාකම් ප්‍රකාශ කරයි. එනයින් මෙම ස්වරූපය රෙදි සමග ඇති සමානත්වය මාධ්‍යයෙන් ඒවායෙහි වටිනාකම් අපට නියෝජනය කරයි. රෙදිවලට සම කිරීමෙන් දැන් සෑම හුවමාරු භාණ්ඩයක ම වටිනාකම එහි ම භාවිත වටිනාකමෙන් ප්‍රභේදනය කෙරෙනු පමණක් නොව සාමාන්‍යයෙන් අන් සෑම භාවිත වටිනාකම් වලින් ද ප්‍රභේදනය කෙරෙයි. මෙම කාරණය නිසා ම එම වටිනාකම සියලු හුවමාරු භාණ්ඩයන්ට පොදු වූ දෙය වශයෙන් ප්‍රකාශ වේ. මෙ ස්වරූපය මඟින් හුවමාරු භාණ්ඩ ප්‍රථම වරට වටිනාකම් ලෙස එකිනෙක සමග ඵලදායී ව සම්බන්ධතාවකට ගෙනෙනු ලැබේ. නැතහොත් හුවමාරු වටිනාකම් ලෙස පෙනී සිටීමට සලස්වනු ලැබේ.

මුල් ස්වරූප දෙක එක්කෝ එක් එක් හුවමාරු භාණ්ඩයෙහි වටිනාකම වෙනත් ජාතියකට අයත් තනි හුවමාරු භාණ්ඩයක් මඟින් නැතහොත් එබඳු හුවමාරු භාණ්ඩ බොහොමයක ශ්‍රේණියක් මඟින් ප්‍රකාශ කරයි. අවස්ථා දෙකෙහි දී ම, එක් එක් තනි හුවමාර භාණ්ඩයෙහි සුවිශේෂ රාජකාරිය වන්නේ සිය වටිනාකම සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම යැයි කිව හැකි අතර එය වෙනත් දේවල පිහිටක් නැතිව එසේ කරයි. පූර්වෝක්තයට සාපේක්ෂ ව මෙම වෙනත් දේවල් විසින් තුල්‍යයන්හි උදාසීන කොටස් රඟපානු ලැබේ. C නැමැති වටිනාකමෙහි සාමාන්‍ය ස්වරූපය මුළු මහත් හුවමාරු භාණ්ඩ ලෝකයෙහි ම හවුල් ක්‍රියාකාරිත්වයෙහි සහ එහි ම පමණක් වූ ප්‍රතිඵලයකි. හුවමාරු භාණ්ඩයට සිය වටිනාකම පිළිබඳ සාමාන්‍ය ප්‍රකාශනයක් ලබා ගත හැකි වන්නේ ඒ සමග සමගාමී ව අන් සියලු හුවමාරු භාණ්ඩ විසින් සිය වටිනාකම් එකම තුල්‍යය මඟින් ප්‍රකාශ කිරීමෙනි. සෑම අලුත් හුවමාරු භාණ්ඩයක් විසින් ද එය ම අනු යා යුතු ය. වටිනාකම් ලෙස හුවමාරු භාණ්ඩයන්හි පැවැත්ම හුදෙක් සමාජමය වන බැවින්, මෙම සමාජ පැවැත්ම ප්‍රකාශ කළ හැකි වන්නේ ඒවායෙහි සම්බන්ධතා සමස්තය මඟින් පමණක් බවත්, ආනුෂංගික ව ඒවායෙහි වටිනාකම් ස්වරූපය සමාජයමය වශයෙන් පිළිගත් ස්වරූපයක් විය යුතු බවත් මෙනයින් පැහැදිලි වේ.

රෙදිවලට සම කරන ලද සියලු හුවමාරු භාණ්ඩ දැන් ගුණාත්මකව සම වන සමාන්‍ය වටිනාකම් වශයෙන් පමණක් නොව විශාලත්ව සැසඳිය හැකි වටිනාකම් ලෙස ද දිස් වේ. ඒවායෙහි වටිනාකම්වල විශාලත්ව රෙදි නැමැති එක ම ද්‍රව්‍යය මගින් ප්‍රකාශ කිරිමෙන් එම විශාලත්ව ද එකිනෙක සසඳනු ලැබේ. නිදසුනක් වශයෙන්, තේ රාත්තල් 10= රෙදි යාර 20 සහ කෝපි රාත්තල් 40= රෙදියාර 20. එබැවින් තේ රාත්තල් 10 = කෝපි රාත්තල් 40. වෙනත් වචනවලින් කිව හොත්, කෝපි රාත්තල් එකක අන්තර්ගතව ඇත්තේ තේ රාත්තල් 1ක අන්තර්ගතව ඇති වටිනාකම් පදාර්ථ - ශ්‍රම - ප්‍රමාණය මෙන් හතරෙන් පංගුවකි.

මුළු මහත් හුවමාරු භාණ්ඩ ලෝකය වැළඳ ගන්නා සාපේක්ෂ වටිනාකම් සාමාන්‍ය ස්වරූපය විසින් සෙසු හුවමාරු භාණ්ඩවලින් බැහැර කොට තුල්‍යයෙහි කොටස රඟපෑමට සලස්වා ඇති තනි හුවමාරු භාණ්ඩය මෙහි දී රෙදි -විශ්වීය තුල්‍යයක් බවට හරවනු ලැබේ. දැන් සියලු හුවමාරු භාණ්ඩයන්හි වටිනාකම විසින් පොදුවේ ලබා ගන්නා ස්වරූපය වන්නේ රෙදිවල දේහමය ස්වරූපය ය. එබැවින් එය ඒ සියල්ල සහ ඒවා එකක් එකක් සමග සෘජු ව ම හුවමාරු කර ගත හැකි ය. මානව ශ්‍රමයෙහි සෑම ජාතියක ම දෘශ්‍යමාන මූර්තිය, සමාජයමය කෝෂස්ථ තත්ත්වය බවට මෙම රෙදි නැමැති පදාර්ථය පත් වේ. රෙදි නැමැති විශේෂ භාණ්ඩයක් නිෂ්පාදනය කරන යම් පෞද්ගලික ප්‍රත්‍යෙක පුද්ගලයන් ගේ ශ්‍රමය වන විවීම ආනුෂංගික ව සමාජමය ස්වභාවයක්, සෙසු සියලු ශ්‍රම ජාති සමග සම වීමෙහි ස්වභාවය ගනියි. වටිනාකමෙහි සාමාන්‍ය ස්වරූපය සංයුක්ත වන අසංඛ්‍ය සමීකරණ මඟින් රෙදිවල දේහගත ශ්‍රමය වාරය අනුව අන් සෑම හුවමාරු භාණ්ඩයක ම දේහගත ශ්‍රමයට සම කෙරෙයි. එනයින් ඒවා විසින් විවීම අප්‍රභේදිත මානව ශ්‍රමය ප්‍රකටවීමෙහි සාමාන්‍ය ස්වරූපය බවට හරවනු ලැබේ. මේ ආකාරයෙන් හුවමාරු භාණ්ඩයන්හි වටිනාකම් තුළ සාක්ෂාත් වූ ශ්‍රමය ඉදිරිපත් කරනු ලබන්නේ සැබෑ කාර්යයෙහි සෑම මූර්ත ස්වරූපයක් ම සහ ප්‍රයෝජනවත් ජාති ලක්ෂණයම අමූර්ත කරණයට ලක් කරන එහි ඍණ අංශයෙන් පමණක් නොවේ. එහි ම ධන ස්වභාවය අවධාරණයෙන් යුතු ව අනාවරණය වීමට සලස්වනු ලැබේ. සාමාන්‍ය වටිනාකම් ස්වරූපය යනු සියලු ජාතිවල සැබෑ ශ්‍රමය සාමාන්‍ය වශයෙන් මානව ශ්‍රමය වීමේ ස්වභාවය දක්වා, මානව ශ්‍රම ශක්තිය වැයවීමක් දක්වා සුළු කිරීමය.

ශ්‍රමයෙහි සියලු නිෂ්පාදිත හුදෙක් අප්‍රභේදිත මානව ශ්‍රමයෙහි කැටිකිරිම ලෙස නියෝජනය කරන සාමාන්‍ය වටිනාකම් ස්වරූපය තමන් හුවමාරු භාණ්ඩ ලෝකයෙහි සමාජ සංක්ෂේපය බව සිය ව්‍යුහය මඟින් ම පෙන්නුම් කරයි. හුවමාරු භාණ්ඩ ලෝකය තුළ සියලු ශ්‍රමයට හිමි මානව ශ්‍රමය වීමේ ස්වභාවයෙන්ම එහි විශේෂ සමාජ ස්වභාවය සමන්විත වන බව එම ස්වරූපය මඟින් ආනුෂංගික ව අවිවාදාත්මක ව ම පැහැදිලි කෙරෙයි.

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்