← Back to Articles

හුවමාරු භාණ්ඩ තුළ දේහගත ශ්‍රමයෙහි දෙවැදෑරුම් ස්වභාවය.

2026-01-21By Marxist University

භාවිත වටිනාකම සහ හුවමාරු වටිනාකම නැමැති දේවල් දෙකක සංකීර්ණයක් ලෙස බැලූ බැල්මට අපට හුවමාරු භාණ්ඩය පෙනී ගියේ ය. ශ්‍රමයට ද එම දෙවැදෑරුම් ස්වභාවය හිමි බව පසුව අපි දුටිමු. මන්ද යත්, වටිනාකම මඟින් ප්‍රකට වන තාක් එයට භාවිත වටිනාකම් නිර්මාපකයෙකු ලෙස ඊට අයත් ගති ලක්ෂණ හිමි නොවන බැවිණි. හුවමාරු භාණ්ඩවල ගැබ් වූ ශ්‍රමයෙහි මෙම දෙවැදෑරුම් ස්වභාවය ප්‍රථම වරට පෙන්වා දෙන ලද්දේ සහ විවේචනාත්මක ව විභාග කරන ලද්දේ මා විසිනි. දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමෙහි විවර්තනිය මෙම කරුණ වන බැවින් අප විසින් එය වඩා විස්තර ව සලකා බැලිය යුතුය.

කබායක් සහ රෙදි යාර 10ක් වැනි හුවමාරු භාණ්ඩ දෙකක් ගනිමු. රෙදි යාර 10 =W නම්, කබාය =2W වන පරිදි පූර්වෝක්තයෙහි වටිනාකම අපරෝක්තයෙහි මෙන් දෙගුණයෙකැයි ද සිතමු.

කබාය විශේෂ වුවමනාවක් තෘප්තිමත් කරන භාවිත වටිනාකමකි. එහි පැවැත්ම නිෂ්පාදනජනක ක්‍රියාකාරිත්වයෙහි සුවිශේෂ වර්ගයක ප්‍රතිඵලයකි. මෙම සුවිශේෂ වර්ගයෙහි ස්වභාවය නිශ්චය කරනු ලබන්නේ එහි අරමුණ, මෙහෙයුම් ප්‍රකාරය, ඊට ගොදුරු වන වස්තුව, මාධ්‍ය සහ ප්‍රතිඵල අනුව ය. සිය උපයෝගිතාව මෙසේ සිය නිෂ්පාදිතයෙහි භාවිතයෙහි වටිනාකම මඟින් නියෝජනය වන නැතහොත් සිය නිෂ්පාදිතය භාවිත වටිනාකම බවට පත් කිරීමෙන් ප්‍රකට වන ශ්‍රමය ප්‍රයෝජනවත් ශ්‍රමය යැයි අපි කියමු. මේ සම්බන්ධයෙන් අප සලකන්නේ එහි ප්‍රයෝජනවත් ඵලය පමණකි.

කබාය සහ රෙදි ගුණාත්මක ව එකිනෙකින් වෙනස් භාවිත වටිනාකම් දෙකක් වන පරිදි ම, ඒවා නිෂ්පාදනය කරන ශ්‍රමයෙහි ස්වරූප දෙක වන ඇඳුම් මැසීම සහ රෙදි විවීම ද ගුණාත්මක ව එකිනෙකින් වෙනස් ය. මෙම වස්තු දෙක ගුණාත්මක ව එකිනෙක වෙනස් නොවූ යේ නම්, එකිනෙක වෙනස් ගුණයෙන් යුත් ශ්‍රමය මඟින් නිෂ්පාදනය නොකැරුනේ නම් හුවමාරු භාණ්ඩ සම්බන්ධතාවේ දී ඒවාට එකිනෙක මුහුණ ලා සිටිය නොහැකි ය. කබා කබාවලට ම හුවමාරු නො කැරෙයි. එක් භාවිත වටිනාකමක් එම ජාතියෙහි ම තවත් එකක් සඳහා හුවමාරු නො කැරෙයි.

එකිනෙකට වෙනස් භාවිතයෙහි වටිනාකම් සියල්ලට ම ඒවාට අනුරූපී එකිනෙකට වෙනස් ප්‍රයෝජනවත් ශ්‍රම ජාති ඒ තරම් තිබේ. සමාජ ශ්‍රම විභජනය තුළ අයත් වන පිළිවෙල, ජාතිය, විශේෂය සහ විවිධත්වය අනුව ඒවා සූචිකරණය වෙයි. මෙම ශ්‍රම විභජනය හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා අනිවාර්ය කොන්දේසියකි. එහෙත් විලෝම වශයෙන් ශ්‍රම විභජනය සඳහා හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය අනිවාර්ය කොන්දේසියක් යැයි අනු යන්නේ නැත. ආදී ඉන්දියානු ප්‍රජාවේ හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය රහිත ව ශ්‍රම විභජනය තිබෙයි. එසේ නැති ව වඩාත් සමීප නිදසුනක් ගත හොත්, සෑම කම්හලකම ශ්‍රමය කිසි යම් ක්‍රමයකට බෙදා දී ඇති මුත්, මෙම බෙදා හැරීම සිදු කැරෙන්නේ මෙහෙයුම්කරුවන් ඔවුන්ගේ ප්‍රත්‍යෙක නිෂ්පාදිත අන්‍යොන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීමෙන් නොවෙයි. එක් එක් ජාතිය ස්වාධීන වත්, පෞද්ගලික පුද්ගලයන් සඳහාත් ඉටුකරණ නා නා ජාති ශ්‍රමයෙහි ප්‍රතිඵලයක් වන නිෂ්පාදිතවලට පමණක් එකිනෙකට සාපේක්ෂ ව හුවමාරු භාණ්ඩ බවට පත් විය හැකි ය.

එසේ නම් යළි කාරණයට පිවිසෙමු; එක් එක් හුවමාරු භාණ්ඩයෙහි භාවිත වටිනාකම තුළ ප්‍රයෝජනවත් ශ්‍රමය, එනම්, නිශ්චිත ජාතියකට අයත් වූ, නිශ්චිත අරමුණින් ක්‍රියාත්මක කරන ලද නිෂ්පාදනජනක ක්‍රියාකාරකම් අන්තර්ගත වෙයි. ඒවායෙහි දේහගත ව ඇති ප්‍රයෝජනවත් ශ්‍රමය එකිනෙකට ගුණාත්මක ව වෙනස් වන්නේ නම් මිස භාවිත වටිනා කම් වලට හුවමාරු භාණ්ඩ ලෙස එකිනෙක අබිමුව හමු විය නොහැකි ය. සිය නිෂ්පාදිත සාමාන්‍යයෙන් හුවමාරු භාණ්ඩ ස්වරූපය ගන්නා ප්‍රජාවක, හුවමාරු භාණ්ඩ නිෂ්පාදකයන් ප්‍රජාවක එනම් ප්‍රත්‍යෙක නිෂ්පාදකයන් විසින් ස්වාධීන වත්, තනි තනිව මත් වැය කරන ප්‍රයෝජනවත් ශ්‍රම ස්වරූප අතර පවත්නා මෙම ගුණාත්මක වෙනස සංකීර්ණ පද්ධතියක් බවට, සමාජ ශ්‍රම විභජනයක් බවට සංවර්ධනය වෙයි. කෙසේ වෙතත්, කබාය ඇඳුම් මසන්නා විසින් අඳිනු ලැබුව ද, එසේ නැතහොත් ඔහුගේ ගැනුම්කරු විසින් අඳිනු ලැබුව ද ඒ එක් එක් අවස්ථාවෙහි එය මෙහෙය වෙන්නේ භාවිත වටිනාකමක් ලෙසිනි. ඇඳුම් මැසීම සුවිශේෂ ශිල්පයක් බවට පත් වීමේ, සමාජ ශ්‍රම විභජනයෙහි ස්වාධීන ශාඛාවක් බවට විමේ සිද්ධියෙන් කබාය සහ එය නිෂ්පාදනය කළ ශ්‍රමය අතර සම්බන්ධතාව වෙනස් වන්නේ ද නැත. ඇඳුම් පිළිබඳ වුවමනාවෙන් බල කැරුනු හැම තැනදීම එකද මිනිසෙකු වත් ඇඳුම් මසන්නකු නොවී මානව වර්ගයා වසර දහස් ගණනක් ම රෙදි පිළි තැනූහ. එහෙත් ස්වභාව ධර්මයෙහි නිරායාස නිෂ්පාදිත නොවන ද්‍රව්‍යමය ධනයෙහි අන් හැම අංශුවක් මෙන් ම කබා සහ රෙදිවල පැවැත්ම නිශ්චිත අරමුණින් යුත් සුවිශේෂ නිෂ්පාදනජනක ක්‍රියාකාරිත්වයකට නොවරදවා ම ණය ගැති විය යුතු ය. එබැවින්, ශ්‍රමය භාවිත වටිනාකම් නිර්මාපකයෙකු වන තාක් එය ප්‍රයෝජනවත් ශ්‍රමය වෙයි. එය මානව වර්ගයාගේ පැවැත්ම සඳහා සමාජයෙහි සියලු ස්වරූප වලින් ම ස්වාධීන වූ අනිවාර්ය කොන්දේසියකි. එය ස්වභාව ධර්මය විසින් බලයෙන් ඇති කරනු ලබන සදාකාලික අනිවාර්යතාවකි. එයින් තොර ව මිනිසා සහ ස්වභාව ධර්මය අතර ද්‍රව්‍යමය හුවමාරු පැවැතිය නො හැකි ය. එබැවින් ජීවිතය පැවැතිය නොහැකි ය. ද්‍රව්‍යය සහ ශ්‍රමය යන අංග දෙකකින් කබාය සහ රෙදි ආදී භාවිත වටිනාකම්, එනම් හුවමාරු භාණ්ඩයන්හී දේහ සංයෝග වෙයි. ඒවා සඳහා වැය වු ප්‍රයෝජනවත් ශ්‍රමය අප විසින් ඉවත් කරන්නේ නම් මිනිසා ගේ උදවුවෙන් තොර ව ස්වභාව ධර්මය විසින් සපයනු ලබන ද්‍රව්‍යජ උපස්තරයක් හැම විට ම ශේෂ වෙයි. මිනිසාට වැඩ කළ හැකි වන්නේ ස්වභාව ධර්මය කරන පරිද්දෙන් පමණකි. එනම්, ද්‍රව්‍යයෙහි ස්වරූපය වෙනස් කැරීමෙන් පමණකි. 13 එ මතු ද නොවෙයි. ස්වරූපය වෙනස් කිරීමේ මෙම වැඩයෙහි දී ඔහුට නිරතුරුවම ස්වාභාවික බලයන්හි ආධාරය ලැබේ. ද්‍රව්‍යජ ධනයෙහි, ශ්‍රමය විසින් නිෂ්පාදිත භාවිත වටිනාකම්හි එකම ප්‍රභවය ශ්‍රමය නොවන බව එවිට අපට පෙනෙයි. විලියම් පෙට පවසන පරිදි ශ්‍රමය එහි පියාය. පොළොව එහි මවය.

භාවිත වටිනාකමක් ලෙස සලකන ලද හුවමාරු භාණ්ඩයන්හි සිට නුවමාරු භාණ්ඩයෙහි වටිනාකම වෙත අපි දැන් යොමු වෙමු.

අපගේ උපකල්පනයට අනුව කබාය රෙදි මෙන් දෙගුණයක් වටී. එහෙත් මෙය හුදු ප්‍රමාණාත්මක වෙනසක් පමණි. දැනට ඒ ගැන අප ගේ සැලැකිල්ල යොමු නො වෙයි. කෙසේ වෙතත් කබායෙහි වටිනාකම රෙදි යාර 10 ක වටිනාකම මෙන් දෙගුණයක් නම්, රෙදි යාර 20ක් කබායක් හා සමාන වටිනාකමක් දරන බව අපි සිහියේ තබා ගනිමු. ඒවා වටිනාකම් වන තාක්, කබාය සහ රෙදි එක හා සමාන පදාර්ථයකින් සැදුම් ලද දේවල් වෙයි. අනිවාරයෙන් ම සර්ව සාම්‍ය ශ්‍රමයෙහි වාස්තවික ප්‍රකාශ වෙයි. එහෙත් ඇඳුම් මැසීම සහ රෙදි විවීම ගුණාත්මක ව එකිනෙකට වෙනස් ශ්‍රම ජාති වෙයි. කෙසේ වෙතත් එක ම මිනිසා විසින් මාරුවෙන් මාරුවට ඇඳුම් මැසීමත් රෙදි විවීමත් කරන සමාජ තත්ත්ව තිබෙයි. එම අවස්ථාවන්හි ශ්‍රමයෙහි මෙම ස්වරූප දෙක එකිනෙක වෙනස් පුද්ගලයින්ගේ සුවිශේෂ සහ අචල කාරිය නොවන එකම පුද්ගලයා ගේ ශ්‍රමයෙහි විකරණ පමණි. එය හරියටම අපගේ ඇඳුම් මසන්නා දිනක සකසන කබාය සහ තවත් දිනක සකසන කලිසම මඟින් එකම පුද්ගලයාගේ ශ්‍රමයෙහි විචලන හැඟවීම හා සමානය. තව ද, අප ගේ ධනපති සමාජයෙහි මානව ශ්‍රමයේ දී ඇති කොටසක් වෙනස් වන ඉල්ලුමට අනුව විටෙක ඇඳුම් මැසීමේ ස්වරූපයෙන් ද විටෙක රෙදි විවීමේ ස්වරූපයෙන් ද සැපැයෙන බව එක් බැල්මකින්ම අපි දකිමු. මෙම වෙනස ඇතැම් විට ඝර්ෂණයෙන් තොර ව සිදු නොවූවත් එය සිදු විය යුතුමය.

ශ්‍රමයෙහි ප්‍රයෝජනවත් ගති ලක්ෂණය නැමති එහි සුවිශේෂ ස්වරූපය අප දැක්මෙන් බැහැර කළත් නිෂ්පාදනජනක ක්‍රියාකාරිත්වය යනු මානව ශ්‍රම ශක්තිය වැය කැරීම හැර අන් කිසිවක් නොවෙයි. ඇඳුම් මැසීම සහ රෙදි විවීම ගුණාත්මක ව එකිනෙක වෙනස් නිෂ්පාදනජනක ක්‍රියාකාරිත්ව වුවත්, ඒ එක් එක් ක්‍රියාකාරිත්වය මානව මොළයන්හි ස්නායුවල සහ මාංශ පේශි වල ඵලදායි වැයවීමකි. මේ අර්ථයෙන් ගත් කල එය මානව ශ්‍රමය ය. ඒවා අන් කිසිවක් නොව මානව ශ්‍රම ශක්තිය වැය කැරීමේ එකිනෙක වෙනස් ප්‍රකාර දෙකක් පමණි. සත්තකින්ම එහි සකල විකරණ යටතේ එක සේම රැඳෙන මෙම ශ්‍රම ශක්තිය ප්‍රකාර බහුත්වයකින් වැය කරන්නට හැකි වන්නට පෙර එහි සංවර්ධනයෙහි එක්තරා තත්ත්වයක් ළඟා කර ගෙන තිබිය යුතුය. එහෙත් හුවමාරු භාණ්ඩයක වටිනාකම අමූර්ත මානව ශ්‍රමය නියෝජනය කරයි. සාමාන්‍ය වශයෙන් වන මානව ශ්‍රම වැය වීම නියෝජනය කරයි. ජෙනරාල්වරයෙකු හෝ බැංකු හිමියෙකු හෝ විසින් සමාජයෙහි ශ්‍රේෂ්ට කොටසක් ඉටු කරන අතර, අනෙක් අතට නිකම්ම මිනිසා අල්ප කොටසක් ඉටු කරන පරිද්දෙන්ම මෙහි දී හුදු මානව ශ්‍රමයෙහි කොටස ද අල්ප ය. 14 එය සරල ශ්‍රම ශක්තිය වැයවීමය. එනම්, කිසිදු සුවිශේෂ සංවර්ධනයකින් තොර ව සෑම සාමාන්‍ය ප්‍රත්‍යෙක පුද්ගලයෙකු ගේ දේහය තුළ ම මධ්‍යක වශයෙන් පවත්නා ශ්‍රම ශක්තිය වැය වීමය. සරල මධ්‍යක ශ්‍රමය විවිධ රටවල සහ විවිධ කාලයන්හි ස්වභාවය අතින් වෙනස් වන බව ඇත්තකි. එහෙත් විශේෂ සමාජයක් තුළ එය දී ඇති දෙයකි. නිපුණ ශ්‍රමය ගණිනු ලබන්නේ තීව්‍ර කරන ලද සරල ශ්‍රමය ලෙස පමණි. නැතහොත් සරල ශ්‍රමයෙහි ගුණිතයක් ලෙස පමණි. දී ඇති නිපුණ ශ්‍රම ප්‍රමාණයක් සරල ශ්‍රමයෙහි වැඩිතර ප්‍රමාණයකට සමයැයි සලකනු ලැබෙයි. මෙම සුළු කැරීම නිරතුරුව ම කරන බව අත්දැකීම් පෙන්නුම් කරයි. හුවමාරු භාණ්ඩයක් ඉතාමත් ම නිපුණ ශ්‍රමයෙහි නිෂ්පාදිතය විය හැකි ය. එහෙත් සරල නොනිපුණ ශ්‍රමයෙහි නිෂ්පාදිතයට එය සම කැරීමෙන් එහි වටිනාකම මඟින් නියෝජනය කරන්නේ හුදෙක් අපරෝක්ත ශ්‍රමයෙහි නිශ්චිත ප්‍රමාණයකි. 15 ඒවායෙහි ප්‍රමිතිය ලෙස විවිධ ශ්‍රම වර්ග නොනිපුණ ශ්‍රමයට සුළු කිරීමෙහි විවිධ සමානුපාතික ස්ථාපිත කරනු ලබන්නේ නිෂ්පාදකයන්ගේ පිටුපසින් ක්‍රියාත්මක වන සමාජ ක්‍රියාවලියක් මඟිනි. ආනුෂංගික ව එම සමානුපාතික සම්ප්‍රදාය විසින් නියම කැරෙන්නක් සේ දිස් වෙයි. සරල බව තකා අපි මින් ඉදිරියට සෑම වර්ගයක ම ශ්‍රමය නොනිපුණ සරල ශ්‍රමය ලෙස ගණන් ගන්නෙමු. එහි ලා අප කරන්නේ සුළු කැරීමේ කරදරයෙන් ගැලවීමට වැඩි යමක් නොවෙයි. එබැවින් කබාය සහ රෙදි දෙස වටිනාකම වශයෙන් බැලීමෙහි දී අප ඒවායෙහි භාවිත වටිනාකම් වලින් අමූර්ත කළ පරිද්දෙන් ම, එම වටිනාකම් මඟින් නියෝජනය කරන ශ්‍රමය ගැනත් එසේම කරමු: රෙදි විවීම සහ ඇඳුම් මැසීම යන එහි ප්‍රයෝජනවත් ස්වරූප අතර වෙනස අපි නොසලකා හරින්නෙමු. කබාය සහ රෙදි යන භාවිත වටිනාකම් රෙදි සහ නූල් වලින් කරනු ලබන සුවිශේෂ නිෂ්පාදනජනක ක්‍රියාකාරිත්ව සංයෝග වන අතර, අනෙක් අතට, කබාය සහ රෙදි නමැති වටිනාකම් අප්‍රභේදිත ශ්‍රමයෙහි හුදු සජාතීය කැටිකිරිම් වෙයි. එබැවින් මෙම අපරෝක්ත වටිනාකම් තුළ දේහගත වු ශ්‍රමය හුදෙක් මානව ශ්‍රම ශක්තිය වැය වීම ලෙස ගණන් ගැනෙනු මිස රෙදිවලට සහ නූල් වලට ඇති නිෂ්පාදනජනක සම්බන්ධතාව හේතු කොට ගෙන ගණන් නොගැනෙයි. කබාය සහ රෙදි යන භාවිත වටිනාකම් නිෂ්පාදනයෙහි දී ඇඳුම් මැසීම සහ රෙදි විවීම අත්‍යවශ්‍ය සාධක වූයේ මෙම ශ්‍රම වර්ග දෙක එකිනෙක වෙනස් ගුණවලින් යුක්ත වූ බැවින්මය. එහෙත් එම භාණ්ඩයෙහි වටිනාකමෙහි පදාර්ථය ඇඳුම් මැසීම සහ රෙදි විවීම මඟින් හැඩගස්වනු ලබන්නේ ඒවායේ සුවිශේෂ ගුණ වලින් අමූර්තකරණය කරන තාක් පමණි. ඒ භාණ්ඩ දෙක ම මානව ශ්‍රමය නැමැති එක ම ගුණයෙන් යුක්ත වන තාක් පමණි.

කෙසේ වෙතත්, කබා සහ රෙදි නිකම් ම වටිනාකම් පමණක් නො වෙයි. ඒවා නිශ්චිත විශාලත්වයක් සහිත වටිනාකම් ය. අප ගේ අභ්‍යුපගමයට අනුව රෙදි යාර දහයෙහි වටිනාකම මෙන් දෙගුණයක් කබාය වටී. ඒවායෙහි වටිනාකම්වල පවත්නා මෙම වෙනස එන්නේ කොහෙන්ද? එයට හේතුව රෙදි තුළ කබායෙහි අඩංගු ශ්‍රමයෙන් බාගයක් පමණක් අඩංගු වීමත්, ආනුෂංගිකව අපරෝක්තය නිෂ්පාදනයෙහි දී පූර්වෝක්තය නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වූ කාලය මෙන් දෙගුණයක් වන කාලයක් තුළ ශ්‍රම ශක්තිය වැය විය යුතුව තිබීමත් ය.

එබැවින් භාවිත වටිනාකමට සාපේක්ෂ ව හුවමාරු භාණ්ඩයක අඩංගු ශ්‍රමය ගුණාත්මක ව පමණක් ගණිනු ලබන අතර වටිනාකමට සාපේක්ෂව එය ගණිනු ලබන්නේ ප්‍රමාණාත්මක ව පමණි. ඒ සඳහා පළමුවෙන් එම ශ්‍රමය කේවල සරල මානව ශ්‍රමයට සුළු කර ගත යුතු ය. පුර්වෝක්ත අවස්ථාවෙහි නැගෙන්නේ කෙසේ ද, කවදාද යන ප්‍රශ්නය. අපරෝක්ත අවස්ථාවෙහි කොතරම් ද, කොතරම් දිගු කාලයක් ද යන ප්‍රශ්න නැගෙයි. හුවමාරු භාණ්ඩයක වටිනාකමෙහි විශාලත්වයෙන් නියෝජනය වන්නේ එහි දේහගත වූ ශ්‍රම ප්‍රමාණය පමණක් බැවින් යම් සමානුපාතිකයන්ගෙන් ගත් කල සියලු ම හුවමාරු භාණ්ඩ සම වටිනාකමකින් යුක්ත බව එයින් අනු යෙයි.

කබායක නිෂ්පාදනය සඳහා අවශ්‍ය විවිධ වර්ගයන්හි භාවිත වටිනාකම් සියල්ලෙහි නිෂ්පාදනජනක ශක්තිය නොවෙනස්ව පවතින්නේ නම් නිෂ්පාදනය වන කබායන්හි වටිනාකම් එකතුව ඒවායෙහි සංඛ්‍යාවත් සමග වැඩි වෙයි. එක් කබායක් දින x වල ශ්‍රමයක් නියෝජනය කරන්නේ නම්, කබා දෙකක් දින 2 x වල ශ්‍රමයක් නියෝජනය කරයි. ආදි වශයෙනි. එහෙත් කබායක් නිෂ්පාදනයට අවශ්‍ය කැරෙන ශ්‍රම කාලය දෙගුණ වෙතැයි නැතහොත් හරි අඩක් වෙතැයි අභ්‍යුපගමය කරමු. පළමු වැනි අවස්ථාවෙහි දී එක් කබායක් ඊට පෙර පැවැති කබා දෙකක් වටී. දෙවැනි අවස්ථාවෙහි දී කබා දෙකක් වටින්නේ ඉහත දී එක් කබායක වටිනාකම තරම් පමණි. එතෙකුදු වුව අවස්ථා දෙකෙහි දි ම කබායක් මඟින් ඉටු කරන්නේ පෙර පැවැති සේවාව ම වන අතර එහි දේහගත ප්‍රයෝජනවත් ශ්‍රමය පෙර පැවැති ගුණයෙන්ම රැදෙයි. එහෙත් එය නිෂ්පාදනය සඳහා වැය වූ ශ්‍රම ප්‍රමාණය වෙනස් ව තිබෙයි.

භාවිත වටිනාකම් ප්‍රමාණය වැඩිවීම ද්‍රව්‍යමය ධනයෙහි වැඩිවීමකි. කබා දෙකකින් මිනිසුන් දෙදෙනෙකුට වස්ත්‍ර සැපයිය හැකි ය. එක් කබායකින් වස්ත්‍ර සැපැයිය හැකි වන්නේ එක් මිනිසෙකුට පමණි. එතෙකුදු වුව ද්‍රව්‍යමය ධනයෙහි වැඩි වූ ප්‍රමාණයක් සමග සමකාලීන ව එහි වටිනාකමෙහි විශාලත්වයෙහි අනුරූපී පහත වැටීමක් ද ඇති විය හැකි ය. මෙම ප්‍රතිඝතික සංචලනයෙහි ප්‍රභවය ඇත්තේ ශ්‍රමයෙහි දෙවැදෑරුම් ස්වභාවය තුළය. සැබැවින්ම නිෂ්පාදනජනක ශක්තිය සාපේක්ෂ වන්නේ කිසියම් ප්‍රයෝජනවත් මූර්ත ස්වරූපයක ශ්‍රමයට පමණක් වන අතර දී ඇති කාලයක් තුළ කිසි යම් සුවිශේෂ නිෂ්පාදනජනක ක්‍රියාකාරිත්වයක සඵලතාව එහි නිෂ්පාදජනකත්වය මත රැඳෙයි. එබැවින් ප්‍රයෝජනවත් ශ්‍රමය යනු එහි නිෂ්පාදජනකත්වයෙන් ඉහළ යාමට හෝ පහත වැටීමට හෝ සමානුපාතික අඩු වැඩි වශයෙන් ආඪ්‍ය වන නිෂ්පාදිත ප්‍රභවයකි. අනෙක් අතට මෙම නිෂ්පාදජනකත්වයෙහි කිසිදු වෙනසක් වටිනාකම මඟින් නියෝජනය කරන ශ්‍රමයට බල නොපායි. නිෂ්පාදන ජනකශක්තිය ශ්‍රමයෙහි මූර්ත ප්‍රයෝජනවත් ස්වරූපයන්හි උප ලක්ෂණයක් බැවින් එම මූර්ත ප්‍රයෝජනවත් ස්වරූප අප විසින් අමූර්ත කරණයට ලක් කළ විගසම ඊට එම ශ්‍රමය කෙරෙහි තව දුරටත් බලපෑමක් සැබැවින් ම තිබිය නොහැකිය. එවිට නිෂ්පාදනජනක ශක්තිය කෙසේ විචලනය වුවත්, සම කාල පරිච්ඡේද තුළ ක්‍රියාවට නැඟෙන එක ම ශ්‍රමය හැම විට ම සම වටිනාකම් ප්‍රමාණ ලබා දෙයි. එහෙත් එය සම කාල පරිච්ඡේද තුළ භාවිතයෙහි වටිනාකම් විවිධ ප්‍රමාණ ලබා දෙනු ඇත.

නිෂ්පාදනජනක ශක්තිය ඉහළ නගින්නේ නම්, එම ප්‍රමාණය වැඩි වනු ඇත. පහළ වැටෙන්නේ නම් එම ප්‍රමාණය අඩු වනු ඇත. ශ්‍රම සඵලතාවත්, ආනුෂංගික ව එම ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාවිත වටිනාකම් ප්‍රමාණයත් වැඩි කරන නිෂ්පාදනජනක ශක්තියෙහි එම වෙනස ම, එම වෙනස මඟින් ඒවා නිෂ්පාදනයට අවශ්‍ය මුළු ශ්‍රම කාලය කෙටි කරන්නේ නම් භාවිත වටිනාකම්වල මෙම වැඩි වූ ප්‍රමාණයෙහි මුළු වටිනාකම පහත දමයි. තව ද vice versa. [විලෝමය ද සත්‍ය ය.]

එක් අතකින්, භෞතවේදී ව කතා කරන්නේ නම් සියලු ශ්‍රමය මානව ශ්‍රම ශක්තියෙහි වැය වීමකි. සර්ව සාම්‍ය අමූර්ත මානව ශ්‍රමය නැමැති එහි ස්වභාවය හේතු කොට ගෙන එය විසින් හුවමාරු භාණ්ඩයෙහි වටිනාකම නිර්මාණය කොට හැඩ ගන්වනු ලබයි. අනෙක් අතට සියලු ශ්‍රමය සුවිශේෂ ස්වරූපයකින් සහ නිශ්චිත අරමුණකින් යුතු ව මානව ශ්‍රම ශක්තිය වැය වීමකි. මෙම මූර්ත ප්‍රයෝජනවත් ශ්‍රමය නැමැති සිය ස්වභාවය හේතු කොට ගෙන එය විසින් භාවිත වටිනාකම් නිෂ්පාදනය කැරෙයි.

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்