← Back to Articles

කොමියුනිස්ට්වාදය,මනෝරාජ්‍යයක් නොව විද්‍යාවකි

2026-11-03•By Nimesh Devanga

කොමියුනිස්ට්වාදය යම් පුද්ගලයකුගේ, මහා ප්‍රාඥයෙකුගේ පවා, සොයා ගැනීමක් නොව, මිනිස් සමාජයේ වර්ධනයේ අනිවාර්ය ප්‍රතිඵලයක් යයි සිය පර්යේෂණ සහ විප්ලවීය කටයුතු මගින් කාල් මාක්ස් සහ එංගල්ස් නිගමනය කළහ. මෙසේ කිරීමෙන් ඔව්හු සමාජවාදය මනෝරාජ්‍යයේ සිට විද්‍යාවක් බවට පරිවර්තනය කළහ.වසර ගණනාවකට පසු වී.අයි. ලෙනින් මෙසේ ලිවීය. “මාක්ස්ගේ චින්තනයේ ‘නව සමාජයක්’ සෑදීම, නැතහොත් නිපදවීම, යන අරුතෙන් කිසිදු මනෝරාජිකත්වයක් නැත.”කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් භෞතිකවාදීන් සහ ද්වන්දවාදීන් ලෙස අතීතය, වර්තමානය සහ අනාගතය විශ්ලේෂණය කිරීමට ප්‍රයත්න දැරූහ. සමාජ ජීවිතයේ වෙනස්වීම් සිදුවන්නේ ඇයි දැයි යන ගැටලුවටත්, සමාජය එක්තරා දිශාවකට මිස වෙනත් කිසිම දිශාවකට වර්ධනය නොවිය යුත්තේ ඇයිදැයි යන්නත් ඔවුහු අධ්‍යයනය කළහ. ඉතිහාසයේ සැබෑ මැවුම්කරුවන්, සියලු ද්‍රව්‍යමය ධනය නිර්මාණය කරන, එනම්, සමාජය ජීවත්වීමට පිටුවහලක් කරගන්නා සියලු දේ නිර්මාණය කරන, වැඩ කරන බහුජනතාව බව ඔවුහු පෙන්වා දුන්හ. සියලුම පන්ති සමාජවල (වහල් හිමි, වැඩවසම් සහ ධනවාදී සමාජවල) වර්ධනයේ ගාමක බලවේගය වැඩකරන ජනතාව විසින් තම සූරාකන්නන්ට එරෙහිව ගෙනයන අරගලයයි. මාක්ස්වාදයේ නිර්මාතෘවරු ධනවාදය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කරමින් එහි මූලික ප්‍රතිවිරෝධතා අනාවරණය කළහ. ධනවාදී සමාජයේ බිඳ වැටීමට හේතු වන ද්‍රව්‍යමය තත්ත්වයන් එම සමාජය තුළම නිර්මාණය වීමේ ක්‍රියාදාමය ඔවුහු ඉමහත් අවධානයකින් යුතුව අධ්‍යයනය කළහ. පැරණි ක්‍රමය විනාශ කර දැමීමට සමත් බලවේගය වශයෙන් නිර්ධන පන්තිය දුටු ඔවුහු, සමාජවාදී සමාජයක් ගොඩනැගීමේදී නිර්ධන පන්තිය ඉටුකරනු ලබන කාර්යභාරය සනාථ කළහ.ධනවාදය විනාශ කොට සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම වෙනත් කිසිදු සමාජ පන්තියකට නොව නිර්ධන පන්තියට පැවරී ඇත්තේ ඇයි ද? ප්‍රථම කොට, ධනවාදී සමාජයේ නිර්ධන පන්තිය කිසිදු ආකාරයක දේපළ අයිතියකට සම්බන්ධ නැත. නිර්ධනීන්ට තම දෑත් හැර වෙනත් දෙයක් අයිති නැත. පෞද්ගලික දේපළෙහි බර ඔවුන්ට බාධාවක් නොවන අතර, ඔවුන්ගේ විප්ලවීය අපේක්ෂාවන් දියාරු තත්ත්වයකට පත් නොකරනු ඇත. සමාජවාදී විප්ලවයකදී නිර්ධන පන්තියට සිය විලංගු මිස අහිමිවීමට වෙනත් කිසිවක් නැත්තේ එම නිසාය.දෙවනුව,නිර්ධන පන්තිය කෘරතම සූරාකෑමට භාජනය වේ. ධනේශ්වර පන්තිය එහි ධනයෙන් වැඩි කොටසක් ලබා ගන්නේ නිර්ධන පන්තිය කොල්ලකෑමෙනි. සමාජයේ කම්කරු පන්තියට හිමි මෙම තත්ත්වය, කම්කරු පන්තිය සමාජවාදය සඳහා ඉතාමත් තීරණාත්මක ලෙස සටන් කරන්නා බවට පත් කරයි.තෙවනුව,කම්කරු පන්තිය නිෂ්පාදනයේ ඉතාමත් විප්ලවීය සහ ඒ සමඟ නිරන්තරයෙන් වර්ධනය වන ස්වරූපය වන යන්ත්‍රානුසාර නිෂ්පාදනය සමඟ සම්බන්ධ කරනු ලැබ ඇත. ධනවාදී නිෂ්පාදනයේ වර්ධනය, සමාජයේ ප්‍රධාන නිෂ්පාදන බලවේගය වන, නිර්ධන පන්තියේ වර්ධනය හා තහවුරු වීම සමඟ එක පෙළට ගමන් කරයි.සිව්වනුව, ධනවාදී නිෂ්පාදනයේ වර්ධනය කම්කරු පන්තිය ධනේශ්වර පන්තියට විරුද්ධව තනි විප්ලවීය හමුදාවක් බවට ඒකාබද්ධ කරන තත්ත්වයක් අනිවාර්යෙන්ම නිර්මාණය කරයි. කම්කරු පන්තිය අපේ යුගයේ ඉතාමත් සංවිධානාත්මක දේශපාලන බලවේගයයි. එය ඉතාමත් දියුණු විප්ලවීය න්‍යායන්ගෙන් සන්නද්ධ වී ඇති අතර, කොමියුනිස්ට් හා කම්කරු පක්ෂ එහි නායකත්වය දරයි. නව සමාජය කල්පනාවක් හෝ සිහිනයක් නොව, අවසාන ඉලක්කය බවත්, ධනවාදය යටතේ නිෂ්පාදන බලවේගවල සහ නිෂ්පාදන සබඳතාවල වර්ධනයේ ප්‍රතිඵලයක් බවත් පළමුවෙන්ම ඔප්පු කළේ කාල් මාක්ස් සහ එංගල්ස් ය. කොමියුනිස්ට් ප්‍රකාශනය සියලුම රටවල විප්ලවවාදීන්ගේ ප්‍රතිපත්ති ලේඛනය බවට පත්වී ඇත. මාක්ස්වාදයේ නිර්මාතෘවරු කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ තම න්‍යායේ මූලික අදහස් සහ ප්‍රතිපත්ති අන්තර්ගත කළ අතර විද්‍යාත්මක සමාජවාදයේ ප්‍රධාන විධිවිධාන සහ නිර්ධන පන්තියේ විප්ලවීය පිළිවෙත සූත්‍රගත කළහ.නිර්ධන පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් වශයෙන් ඒකරාශී කරන පක්ෂයේ මාක්ස්වාදී න්‍යායේ මූලධර්ම එහි අන්තර්ගත වේ. කොමියුනිස්ට් ප්‍රකාශනය පහත දැක්වෙන වදන්වලින් අවසන් වෙයි:“පාලක පන්තීන්, කොමියුනිස්ට් විප්ලවයක් ගැන බියෙන් වෙවුලත්වා! නිර්ධනීන්ට තම විලංගු හැර අහිමි වීමට අන් කිසිවක් නොමැත. ඔවුන්ට දිනාගැනීමට මුළු ලෝකයක්ම ඇත.” සකල දේශවාසී වැඩකරන ජනයිනි, එක්වව්...! කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්, පළමුවන වතාවට මාක්ස්වාදය ලෝකය පරිවර්තනය කිරීමේ ස්ථිරසාර සටන් මඟක් වශයෙන් ඉදිරිපත් කරන ලදී. වී.අයි. ලෙනින් මෙසේ ලිවීය “අනුපම බුද්ධි ප්‍රභාවෙන්, පැහැදිලිතාවයෙන් හා විචක්ෂණභාවයෙන් යුතුව මෙම කෘතිය නව ලෝක සංකල්පනයක්, සංගත භෞතිකවාදය විස්තර කරයි. සමාජ ජීවිතයේ ක්ෂේත්‍රය ද, වර්ධනයේ ඉතාමත් පෘථුල හා සාරගර්භ න්‍යාය වන ද්වන්දවාදය ද, පන්ති අරගලයේ න්‍යාය ද, යහපත් කොමියුනිස්ට් සමාජයක මැවුම්කරු වන, නිර්ධන පන්තියේ ජගත් ඓතිහාසික විප්ලවීය කාර්යභාරය ද, එහි අන්තර්ගත වෙයි.” “කොමියුනිස්ට් ප්‍රකාශනය ලෝකය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීම සඳහා වූ විප්ලවීය ව්‍යාපාරයක් ජනිත කළේය.” වී.අයි. ලෙනින්ගේ වචනවලට අනුව “මෙම කුඩා පොත් පිංච වෙළුම් ගණනාවකටත් වඩා වටී... එහි ජීවය අද දක්වාම, ශිෂ්ට සම්පන්න ලෝකයේ සංවිධිත හා සටන් කරන සමස්ත නිර්ධන පන්තියට ආශ්වාදයකි, මග පෙන්වීමකි.” එහෙත් කොමියුනිස්ට් ප්‍රකාශනයේ අදහස්, අපේම යුගයේ කුමන ප්‍රායෝගික ආකාරයෙන් ප්‍රකාශිත වේ ද? - ප්‍රථම කොටම, සහ සියල්ලටම පෙර, සමාජවාදී රටවල නව සමාජයක් ගොඩනැගීම තුළිනි. තවද සමාජවාදී සමාජයේ සියලුම අංශ සංවර්ධනය තුළින් සහ ජගත් සමාජවාදී ප්‍රජාවේ සහෝදර සමාජවාදී රටෙහි සර්වප්‍රකාර තහවුරු වීම සහ සාර්ථක වර්ධනය තුළිනි.සූරාකෑමට හා පීඩනයට පටහැනිව, අධිරාජ්‍යවාදයට එරෙහිව, යුද්ධවලට එරෙහිව ජාතීන් අතර සාමය සඳහා කැපවූ අරගලය තුළිනි. ලෝකයේ සමාජවාදී නොවූ කොටසේ නිර්ධන පන්තියේ මූලික පන්ති ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අරගලය තුළින් හා එහි ජීවී අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම තුළිනි. ජනතාවන්ගේ ජාතික විමුක්තිය සඳහා, ඔවුන්ගේ විප්ලවීය ජයග්‍රහණ තහවුරු හා වර්ධනය කිරීම සඳහා අරගලය තුළිනි.නිර්ධන පන්තියේ ජාත්‍යන්තරවාදය කෙරෙහි පක්ෂපාතීත්වය තුළින් හා කොමියුනිස්ට්වරුන්ගේ සමගිය සඳහා, අපේ යුගයේ සියලුම අධිරාජ්‍ය විරෝධී බලවේග එක්සත් කිරීම සඳහා අරගලය තුළිනි. සමාජවාදයට සතුරු වූ ඕනෑම ධනේශ්වර, ජාතිවාදී, ප්‍රතිසංස්කරණවාදී සහ සංශෝධනවාදී දෘෂ්ටියකට පටහැනිවීම තුළින් සහ මාක්ස්-ලෙනින්වාදයේ නිර්මලත්වය සඳහා, එය නිර්මාණාත්මක ලෙස අදාළ කිරීම හා වර්ධනය කිරීම සඳහා ගෙන යන අරගලය තුළිනි. මාක්ස්වාදී විශ්වව්ද්‍යාලය/ MARXIST UNIVERSITY

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்